Description
මෞර්යා කියවා අවසන් කළ දවස අද නොවේ. කියවා අවසන් කළේ පොත ලැබී දෙදිනක් ඇතුළත බව දිල් මැණිකේ දන්නවා නම්, අතට අසු වූ දෙයින් මට දමා ගසනු නියතය.
කියවූ වග නොකියා සිටියේත් කියන්නට ඇති බොහෝ දේවල් ලියන්නට අවැසි නිසා බව මම ඉතා ආදරයෙන් කියමි. ඇය නම් කීවේ කියවා බලා හිතෙන දේ කියන්න කියාය. එහෙත් මට අවැසි සිතෙන සියලුම දේ ලියා තබන්නට ය.
ඉඳින් ඒ ගැන ලියන්නට මට බොහෝ දිනක් ගතවිය. හේතුව කාර්යබහුලකම ය. නිදහසට හේතු කාරණා ලියාගෙන ම මෞර්යා ගැන කියන්නට ඉදිරි අකුරු ගෙතුම මම වෙන් කරමි.
මෞර්යා මට සිහි කළේ නුගාරාව ය. නුගාරා කිසිවෙකු හට මතකයේ තිබේ දැයි මම නොදනිමි. මට ද කතාවේ කිසිම දෙයක් මතක නැත. එහෙත් ඇය කතාව ඇතුළේ කළ අකුරු හරඹය මට තවමත් අමතක නැත. සුපුරුදු අකුරු රටාවෙන් මිදී ඇය ඒ කතාව තුළ ගෙන හැර පෑ අමුතු භාෂා රටාව මෞර්යා තුළින් මම දැක්කෙමි. ඒ නිසාම මෞර්යා අකුරක් නෑරම මම විඳ ගත්තෙමි.
මෞර්යා ලියද්දී, සම්ප්‍රදායික ස්ත්‍රිය දිල් විසින් මරා දමා තිබුණි. මටසිළුටු ස්ත්‍රීත්වය ඇය එහි දී අභියෝගයට ලක් කර තිබුණු බව කියන්නට උවමනාය. එනම් මෞර්යා යනු ඔබ අප දකින ස්ත්‍රියට වඩා වෙනස්ම කාන්තා ප්‍රතිරුවකි.
මේ වන විටත් ඔබ මෞර්යා කියවා ඇත්නම් ඇය පිරිමින් අභිබවා යන්නට උත්සහ කරන උඩුගම් බලා පිහිනූ ස්ත්‍රී චරිතයක් ලෙස, ඇතැම් විට ඔබ හඳුනා ගන්නට ඇත.
එහෙත් මම හඳුනාගත් මෞර්යා, ස්ත්‍රීත්වය අභිබවා ගිය යුවතියක් ලෙස මම දකිමි.
ආරම්භයේම ඇය පිළිබඳව මගේ මනසේ ඇති වුණේ පැහැදි චිත්‍රයක් නොවේ. ඇගේ සමහර හැසිරීම් මට මෞර්යා කෙරෙහි අප්‍රසාදයක් ඇති කරලන්නට සමත් විය. එහෙත් ඒ මැදක් වනතුරු පමණි.
කතාව ලිව්ව එකී සූක්ෂම ලෙස මෞර්යා කෙරෙහි මගේ මනස ඇද බැඳ තද කරගත්තාය.
අකමැත්තෙන් වුවද කියන්නට කැමැත්තෙමි. ජීව්ගේ චරිතය තුළ මම ජීවත් වූයෙමි. ඔහු ළඟට වී මම මෞර්යා වින්දෙමි. ඇගේ සමහර හැසිරීම් ළඟදී, ජීව්ට වඩා මගේ හද ගැස්ම වේගවත් විය. කතාවක ගැහැනු චරිතය තිබියදී පිරිමි චරිතය තුළ ජීවත් වීමට මට සිදුවිය. එයට හේතු වූයේ ද මෞර්ය තුළ තිබූ වෙනස් පෞරුෂත්වයයි.
කතාව ආරම්භයේ සිටම අග දක්වාම, මෞර්යාගේ ජීවිතය කණපිට හැරවූ නිරුදක නම් වූ, හීන ආත්ම ශක්තියකින් වූ පුද්ගලයා මට රිසි වූයේම නැත. ඉඳින් කතාව පුරාවටම මම ඔහුට වෛර කළෙමි.
ජීව්ගේ අසරණකම මට තදින්ම දැනුණි. එහෙත් එක් තැනක දී, මම ඔහුව ද අතහැර මෞර්යා තෝරා ගත්තෙමි. ඒ තැන කුමක්ද කියා, මම නොකියමි. ලියූ එකීට මේ වෙද්දිත් තේරුම් යා යුතුය. නොකියවූ ඔබට මෞර්යා කියවන්නට ආරාධනා කරමි.
ඩේමියන්. ඔහු නම් අපූරු මිතුරෙකි. මුල දී ඔහුගේ මිතුදමත් මට සැකයෙන් පිරුණු එකක් විය. දිල් ඔහුව සැක පිරි අරමුණකින් මැව්වාද සැක සහිතය. එහෙත් ඔහු ගේ වදන්, මිත්‍රශීලී හැසිරීම් කතාව අලංකාර කරන්නට සමත් විය.
මිස්ට වැලිතුඩුව වැනි අවස්ථාවාදියෙකු කතාව ඇතුළට ගෙන ආයෙන්, සමාජයේ ජීවත් වන, පිටින් සුදු සුණු උලා ගත් කළු චරිත පිළිබඳ පොදු අර්ථකථනයක් ලිය වී ඇති බව මගේ හැඟීමයි.
කුමන හේතුවක් නිසා ද නොදනිමි. සළුවඩන නිලමේ කෙරෙහි වෛරයක් මට කිසිම මොහොතක ඇති වූයේ නැත. කතාව පුරාවටම මට ඔහු පිළිබඳව දැනුණේ අනුකම්පාවකි. කුමාරිහාමිගේ අසරණ කම ඇගේ මව් ගුණය යටපත් කර ඇති බව, දැනුණේ මට පමණක් දැයි නොදනිමි.
ලීසා ට මංගල යෝජනාව ලැබෙන තුරුම, ඇය තරුණ එකියක යැයි මට සිතුණේ ම නැත. ඇය මෞර්යාගේ දෙවෙනි මව් ලෙස කතාව පුරාවටම මම දකින්නට උත්සාහ කළ නිසා ද නොදනිමි. ඒ නිසාම ඇගේ අහඹු විවාහය මගේ සිතට වේදනාවක් ඇති කරලන්නට සමත් විය. කතාව පුරාවටම ඇය මෞර්යා ළඟින් හිඳිනවා දකින්නට මම කැමැත්තෙන් හිඳියෙමි.
මෞර්යා කතාව පුරාවටම මෞර්යා ලෙසින්ම තැබීම පිළිබඳව, ලියු එකීට මම ස්තුති වන්ත වෙමි. මොහොතකටවත් ඇගේ අනන්‍යතාවය නොබිඳීම පැසසිය මනා ය. ඇය අවසානය තෙක්ම අපූරු ගැහැනියක් ලෙස මගේ මනසේ ඉහළින් ම උන්නාය. තව ද එසේමය.
එහෙත් ඇය විසින් ජීව් හට සමාව දීමට, ඉක්මන් වූවා වැඩි නොවේ දැයි, මට තවමත් සිතෙන්නකි. මට සිතුණාට වැඩක් නැත. ලියපු එකීට එහෙම සිතී නැත. ඒ නිසාම ඇය ඇයට අවැසි සීමාව ළඟ රතු ඉර ඇඳ තිබුණි.
තව පිටු සීයක් වත් කියවන්නට තිබුණා නම් හොඳ යැයි මට සිතුණේ,
මෞර්යා ජීව් හට සමාව දීම ඉක්මන් කළ නිසාද,
තවදුරටත් මෞර්යාගේ කළු පැහැ සිතුවිලි අතපත ගා බැලීමේ පිපාසය නිසා ද,
ඒ ලියවිල්ලේ තිබුණු අමුතු ආම්ලක රසය නිසා ද,
නො දනිමි.
මෞර්යා යනු මා කියවූ කෘති අතුරින්, කිසිදා මතකයෙන් බැහැර කළ නොහැකි ළගන්නා අකුරු හරඹයක් තිබූ අපූරු නිර්මාණයකි.
කතාවේ කිසිම කොටසක් පිළිබඳව සඳහනක් කිරීමට මම උත්සාහ නොකළේ, මෙය කියවන ඔබ ආරම්භයේ සිටම අවසානය දක්වාම කුතුහලයෙන් පිපිරී යනවාට කැමති නිසාවෙනි.

මෞර්යා ලියූ මගේ ආදරණීය නැගණියට, මම හදවතින්ම සුභාසිංශන එක් කරමි. ඇය තැබූ පළමු පියවරම ඇත්තේ, පියවර ගණනාවක් ඉදිරියෙනි. වසර තුනකට අධික කාලයක් පුරාවට අපි අතර බැඳී මිතුදම පිළිබඳව දැන් මට හරි ආඩම්බර ය.
…..chami….
Reviews
There are no reviews yet.