Description
අම්මා හැන්දෑවට ගෙදර එන්නෙ.. “පාං කියාගන්ඩවත් බෑ කෙල්ලෙ..” කියාගෙන.
හැන්දෑවට අම්ම ගෙදර එන්නෙ හොදටෝම හෙම්බත් වෙලා කියල දන්න හින්දම අම්මා එන වෙලාවටත් කලින් සුබානි ලිප පත්තු කරලා වතුර මුට්ටිය ලිපේ තියනව. අම්මා ආවට පස්සෙ අම්මට උණුවට කහට එකකුත් වක්කරල දීල, සීනි තිබුණොත් සීනි ඇට ඩිංගකුත් අම්මගෙ අල්ලට හලලා දීලා, අම්මා තේ කහට ටික බොන්ඩ වාඩි වෙලා කකුල් දිග ඇර ගත්තාම, අම්මගෙ කකුල් දෙකත් ඩිංගක් අතගානව..
“උඹ ඔය ජරාව අතගාන්ඩ ඕන නෑ කෙල්ලෙ… කකුල් දෙකේ හොදටෝම දූවිල්ල..” කියලා අම්මා එවෙලෙට කිව්වට කකුල් අතගානකොට දැනෙන සනීපෙට අම්මගෙ ඇස් දෙක පියවෙනව. රබර් සෙරෙප්පු දෙකක්වත් නැතුව, තේ ගහක් ගහක් ගාණෙ ඇවිදින, උදේ හවස මේ කන්ද නගින බහින අම්මගෙ කකුල් වල යටිපතුල් පැලිලා.. හරියට කාෂ්ඨක ඉඩෝරෙකට අහු වෙච්ච වැව් පතුලක් වගේ.. ඉරි තලලා.. කකුල් දෙකේ පිටි පතුල් වල ඉදන් දණිස්ස ගාවට එනකල්ම කූඩැල්ලො කාපු තුවාල වල කැළැල්. කුසට හරි හැටි තුන් වේලට කෑමක් වැටෙන්නෙ නැතුව දර ඉපල් ගාණට කේඩෑරි වෙච්ච වත්තෙ උන්ගෙ කකුල් වල තිියෙන ලේ ඩිංගත් උරා බොන්ඩ කූඩලු හමුදාවක් වත්තෙ තණකොළ ගහක් ගහක් ගාණේ තැනින් තැන හැංගිලා බලා ඉන්නව. උදේට ගෙදරින් යනකොට අම්ම කකුල් දෙකේ සබන් පොත්තක් උලා ගන්නවා. ඒ්ත් අම්මගෙ දුප්පත් කෙට්ටු කකුල් දෙක කුඩලු හමුදාවෙන් බේරගන්ඩ තරම් හයියක් සබන් වලට නෑ..
“ඕං ඔය ගමංම මගේ මේ ඉහ මුදුනටත් තෙල් ඩිංගක් දාල අතුල්ලපං කෙල්ලෙ..” සුබානි අම්මගෙ කකුල් දෙක අතගානකොට අම්මා කියනවා. “උදේට ඇගේ ඇටකටුත් හිරිවැටෙන ගාණට හීතල තිබුණට, දවල්ට අවු කාස්ටකේ ඔලුව කරකුට්ටං වෙනව..”
සුබානි පොල්තෙල් බෝතලෙන් තෙල් ඩිංගක් සීරුවට බොකුටු කරගත්ත අල්ලට වක්කරගෙන එහෙම්මම අම්මගෙ ඉස් මුදුනට තියල අතුල්ලනව. දළු කූඩෙ පටියට කැපිල අම්මගෙ නළල දෙපැත්ත තුවාල වෙලා. දළු කූඩෙ එල්ලගන්ඩ කලින් ඔළුවට රෙදි කඩමාල්ලකුයි, පොහොර උරේකුයි නවා ගත්තට, තේ දළු කඩන්ඩ, කඩන්ඩ තේ කූඩෙ බර වැඩිවෙනකොට දළු කූඩෙ පටියට නළල කැපෙන්ඩ පටන් ගන්නව. වත්තෙ දළු කඩන හැම ගෑනියෙකුගෙම නළලෙ දළු කූඩෙන් හදල දීපු තුවාල කැළැල් තියෙනවා.
අල්ලට හලාගත්ත සීනි ඩිංගක් එක්ක කහට උගුර උගුර බිබී අම්මා කකුල් දෙක දිග ඇර ගන්නවා.
“අදෘෂ්යමාන”
“සිතාගන්නට නොහැකි සිදුවීම් සියල්ල ඇරඹෙන්නේ ඒ ඉකිබිදුම් හඬත් සමඟය. ඉනෝකා තම සැමියාත් සමඟ නිවාඩුවක් ගත කරන්නට කදුකරයට යයි. ඔවුන් නවාතැන් ගන්නේ ලැගුම්හලක් බවට පත් කළ පැරණි වතු බංගලාවකය. එහි නවතින මුල් දවසේම, මහ රෑ මැද, ඇයට ගැහැනියකගේ ඉකිබිදුම් හඬක් ඇසෙයි.”
කතාව ඇරඹෙන්නේ එලෙසිනි.
Reviews
There are no reviews yet.