Out of stock

බාබා එක්ස්

බාබා එක්ස් කෘතිය මෙතැනින් ඩ්ව්න්ලෝඩ් කරගන්න

>> BabaX Latest

 

හෝ පහත ලිංකුවෙන්ද ඩව්න්ලෝඩ් කරගත හැකියි

https://www.mediafire.com/file/mqhnzv23359s8ro/BabaX_Latest.pdf/file

 

Description

බාබා එක්ස් මගේ 10 වෙනි පොත.

මේ පොත මම ලියුවේ විශේෂ හේතූන් කිහිපයක් නිසා. ප්‍රධානම දේ තමයි අද මේ වන විටත් ලංකාව පුරා පැතිර යන “ආගමික මිථ්‍යාව”. ලංකාවේ දේශපාලනය ගැන හැමෝම කතා කරනවා, රටේ අර්ථිකය ගැන හැමෝම කතා කරනවා. එහෙත් ආගම කියන මාතෘකාවට එද්දී ඔහුන්ගේ කටවල් ඉබේම අගුලු වැටෙනවා. ඇයි ? “බය” ආගමත් සමග ඇතිවෙන බය, පූජකයින් ඔහුන්ගේ මිථ්‍යාවාදී අදහස් තුලින් ඔබගේ මනසට ඔබ්බවා ඇති “බය”, ඔබ කතා කලොත් දෙවියන් ඔබට දඩුවම් දෙයි, දෙවියන් ඔබට ශාප කරයි, ඔබව විනාශ කරයි කියන “බය”. ඒ බය නිසාම දේශපාලනය හෝ ආර්ථිකය ගැන විවෘතව කතා කරන මිනිසුන් සමාජය විනාශ කරමින් මිනිසුන්ව වළපල්ලට ඇදලා දාන “ආගමික මිථ්‍යාව” ගැන කතා කරන්න බය වෙනවා. “මිථ්‍යාව” මිථ්‍යාවක් ලෙස දැක දැකත් සාදු කාර දිදී ඒ දිහා බලාගෙන ඉන්නවා, කතා කරන්න පස්ස ගහනවා. සමහර වැඩිහිටියන් “මිථ්‍යාව” තම දරුවන්ටත් උගන්වනවා, ඔහුන්වත් තමන් වැටී සිටින වළටම ඇද දමනවා. ඔහුන්ගේ නූගත් කමින් උපන් මිථ්‍යාවේ බීජ දරුවන්ගේ මනස් තුලත් ආරෝපනය කරමින් රටේ අනාගතයත් විනාශ කොට දමනවා. මම බාබා එක්ස් ලිව්වේ මිථ්‍යාවෙන් සහා එම අඥාන ගෞරවයෙන් අන්ධ වී, මිථ්‍යාවේ වැරැද්දත්, හානියත් පෙනි පෙනී ඒ දෙස බලාගෙන සාදුකාර දෙන, යථාර්තය පිලිගැනීමට මැලිවෙන, ආගමික “බිය” නිසා තම නිදහස් චින්තනය යට කරගෙන, එයටම සිරවී දුක් විදින මිනිසුන් වෙනුවෙන්. බාබා එක්ස් කියවන කිසිවෙකු හෝ වේවා මිථ්‍යාව අවබෝධ කරගන්නවනම්, එයට විරුද්ධව වචනයක් හෝ කතා කරනවනම්, අඩුම තරමින් තමන්ගේ දරුවන්ව හෝ එම මිථ්‍යාවෙන් ඈත් කරනවනම් මා උපන් රට වෙනුවෙන් එය මා ලබන සැබෑම ජයග්‍රහනයක් වනු ඇති.

මෙය සිංහල සාහීත්‍ය තුල මෙතෙක් ලියවුනු වෙනස්ම කතාවක් වනු ඇති!

බාබා එක්ස් “මිථ්‍යාව ආගමක් වූ කල”

මුතුමුදලිගේ නිශ්ශංක

16 reviews for බාබා එක්ස්

  1. Admin

    Posika Ranasinghe විසින් ලියූ සටහනක්

    බාබා X
    මුතුමුදලිගේ නිශ්ශංක මහතාගේ දහවන කෘතිය වෙන්නේ බාබා එක්ස් කෘතියයි. එකිනෙකට වෙනස් මානයන් හබා යමින් පාඨකයාට වෙනස් රසයක් හා චින්තනයක් ලබා දෙන්නට උත්සුක වෙන එතුමා විසින් බබා එක්ස් කෘතිය රචනා කර ඇත්තේ වර්තමාන සමාජයේ ඔබ සහ මම ද මුහුණ දෙන අද්දැකීම් ඇසුරෙනි.
    අසල්වැසි ඉන්දියාව කියන්නෙම දේව ඇදහීම්වලට ජනප්‍රිය රටකි. බලු බෙට්ටක් වුව දෙවියන් කියා අදහන්නට හිතුණොත් අදහන තරමට මිත්‍යාව පිරුණු රටකි. එහිම උප්පත්තිය ලබන බාබාට අමුතුවෙන් මිත්‍යාව ගැන උගැන්විය යුතු නොවේ. ජාන ගත හැකියාවෙන් ඔහු බාබාවරයෙකු බවට පත් වේ.
    කතාව ඇරඹෙන්නේ ස්වාමි කෙනෙක් බෝට්ටුවක නැඟිලා “ආසිරිලන්තය” නම් දූපතක් සොයා යාමෙනි. ආසිරිලන්තය කිව්ව ගමන් මට හිතුණේ හරි අසිරිමත් මිනිස්සු එහි ජීවත් වෙන බවකි. එය මගේ මුවට සිනහවක් කැඳවන්නට සමත් වූයේ විවිධ තරාතිරමේ අසිරිමත් මිනිසුන් මා දෑස් අභියස ඇඳී මැකී ගියේ සලරුවක විලසින් නිසාමය.
    “ශාපය” මේ වචනෙටත් මිනිස්සු කොතරම් නම් බයද? ශාපය නිකම්ම ශාපයක් නොවී දේව ශාපයක් වුණොත් එය මොන තරම් විනාසයක්ද? කවුද කැමති දේව උදහසට ලක් වෙලා විනාස වෙන්න.
    “කිසිවෙකුටත් බය නැති මිනිස්සු දේව ශාපයට බය වෙති.”
    (උපුටා ගැනීම 09 පිටුව)
    ඇත්තටම යකාටවත් බය නෑ කියන මිනිස්සු නොපෙනෙන දෙවියන්ගේ ශාපයට මොන තරම් බයද? දේව ශාපය මුල් කරගනිමින් මිනිසුන්ව මුලා කිරීම සහ තවකෙක්ගෙන් තම අභිප්‍රායන් මුදුන්පත් කර ගැනීමට එය යොදා ගැනීම කෙතරම් පහසු කාර්‍යයක් වී ඇතුවාද?
    ” මට බාබා කියන්න” “මම බාබා දේව” ඔය වදන් මා නෙතු ගැටෙද්දී මට සිතුණේ මහා මුලාවක විශාල මායාවක සමාරම්භය සිදු වූ බවකි. සිය කැමැත්තෙන්ම මිනිස්සු මුලාවක පැටලීම ආරම්භ වූ බවකි.
    “ජෝතිය උනා දැමූ පසුව ඔහු නිරුවතින්ම දුවන්නට පටන් ගත්තේය. ගල් කොරල් උඩින් පනිමින්, විටෙක මිහුදු වැල්ලේ එරෙමින්, සැඟවෙමින් ඔහු දිව්වේය.”
    (උපුටා ගැනීම 13 පිටුව)
    ගෞරවනීය තාපසයෙකුගේ, කුලයෙන් උසස් මහාර්ඝ බාබාවරයාගේ නිරුවත දිග හැරීම මෙහිදී සිදු වේ. එය නාට්‍යම ස්වරූපි හාස්‍යජනක ජවනිකාවක් බඳුය. මිත්‍යාව නිරුවත් කිරීම එසේත් නැත්නම් මිත්‍යාව සරසා අලංකාර කර තිබූ වටිනා ශ්වේත සළු පිළි ගැලවීම කතුවරයා විසින් එයින් ආරම්භ කර ඇති බවක් මට හැඟේ…
    බාබා = දේවත්වය සංකේතවත් කරයි. ඕනම මිනීමරුවෙක්ට, මංකොල්ල කාරයෙක්ට, තක්කඩියෙක්ට දෙවියෙක් වීමට පුළුවන. එයට අවශ්‍ය වන්නේ මිත්‍යාවෙන් ඔලු කුරවල් කරගත් අසිරිමත් මෝඩයින් පිරිසකි. ඔවුන්ව ඇන්දීමට හැකි නම් ඕනෑම තක්කඩියෙක්ට බාබාවරයෙක් වීමට හැකිය.
    බොරුව සදාකල්හිම බොරුවක් නොවන්නේය. බොරුව වුණත් සිය දහස් වාරයක් ඇත්තක් සේ කියද්දි එය සත්‍යයක් වන්නේය. බාබාවරුන්ගේ ශක්තිය වන්නේද එයයි.
    ජීව = ජීවිතය සංකේතවත් කරයි. යමකට ජීවය දෙන්නා නොහොත් පණ පොවන්නා බාබාට ද අලුත් ලෝකයක් දිනා ගැනීම උදෙසා පෙරමුණ ගනියි. ජීව චරිතයක් වශයෙන් බාබාගේ දකුණු අත බවට පත් වේ.
    ලසා = අනිත්‍ය, වෙනස් වීම සංකේතවත් කරයි. සියල්ල නැසෙන සුලුයි. ලසා කාන්තා චරිතයක් වෙන අතර බාබා ආසිරිලන්තය සොයා පැන යන්නේ ලසාව තම දෑතින්ම ඝාතනය කිරීමෙන් පසුවය. ඉතින් අනිත්‍ය නම් ධර්මතාවය සත්‍යයක් නොවෙද? ප්‍රේමය, රාගය, ආශාව, ලෝභය, බලය මේ සියල්ලක්ම වෙනස් වෙන සුලු නොවෙද? බාබාගේ ප්‍රේමය දිනාගන්නේ ද ලසාමය. බාබාගේ ජීවගේ ජීවිතවල ලසානම් අනිත්‍ය අත්පත් කරගන්නේ විශාල ඉඩකඩකි.
    මාර = මරණය. උපදින කා හටත් මරණය උරුමය. එයින් මිදෙන්නට ලොව මෙතෙක් පහළ වූ කිසිවෙකුට නොහැකි විය. මාර තෝරගන්නේ බාබාවය. ස්වාමියාට පක්ෂපාතී වෙන මාර ජීවගේ ජීවයද උදුරා ගන්නේ මරණය සදාතනික එකම සත්‍යය බව පසක් කරමිනි.
    සීනුව ගැන මට හිතෙන්නේ එය තෙවරක් සොලවා දෙවියන්ට අඬ ගැසීමට ඇති මාර්ගය නොව සත්‍යයේත් මිත්‍යාවේත් වෙනස පෙන්වන කැඩපත බවකි.
    බාබාගේ ලිඟුව එය අතිශය හාස්‍යජනක බවක් පෙන්නුම් කරයි. මේ අපි ජීවත්වන රටේ ලිංගිකත්වය කියන්නේ අතිශය රහස් ක්‍රියාවකි. ඒ ගැන පොදුවේ කතා කිරීම ප්‍රබල වරදකි. ඉතින් නූගත් ගැමි සමාජයේ කාන්තාවගේ ඉරණම එයද? නැත්නම් තම සිතේ තෙරපවාගෙන සිටි කාමුක හැඟීම්වල පුපුරා යාමද? ඒ දෙකම වෙන්නට හැකිය. රෝස කැලෙන් බබ්බු ගෙනත් දෙනකම් බලන් ඉන්න සමාජයක සිදු විය නොහැක්කක් නැත.
    රත්තරන් නොව ඉමිටේශන් මාල බෙල්ලේ දාගෙන බාබා රවටාගන්නේ අහිංසක ගැමියාවය. රත්‍රන් ගැමියාගේ හීන මානය පිළිඹිබු කරන්නක්දෝයි මට සිතුණි.
    දේවත්වයේ පරිණාමය ගැන කිව්වොත් නිකම්ම බාබා මුලින්ම මිනී අළු මුහුණේ ගාගත් පසු නිගන්ඨ බාබා දේව ලෙසත් පසුව දරුවන් ලබාදෙන ආශ්චර්‍යමත් ප්‍රභාශ්වර ලිංග දෙවියාගේ අනුගාමිකයා ලෙසත් ඉන්පසු සළු පිළි ඇඳගත් මහා දේව දෙවියා බවට පත් වේ. එය දේවත්වයේ පරිණාමයයි. එකම පුද්ගලයෙක් අවස්ථානූකූලව තම ප්‍රතිරූපය ගොඩ නගන අන්දමයි. දුර්ජනයින්ට දුර්ජනයින් එකතු වේ. එය මිහිරකි. එසේම බාබාගේ කාර්‍ය පහසුවෙන් කරගෙන යාමට උදව්වට එන්නේ සිගන්නෙකි.
    අවසානයේ මාර පමණක් ඉතුරු වී සියල්ලෝම මරණය වැළඳගන්නේ මරණය නියත ධර්මය බව පසක් කරමිනි. බෞද්ධ දර්ශනයට අනුව හටගත් සියල්ලම නැසෙන සුලුය. සියලු දේ අනිත්‍ය වේ. ප්‍රධාන චරිත හතරක් සංකේතානුරූපිව ගෙන කතා කරන්නේ අපූරු තේමාවකි.
    ඇස් බැඳගත් මිනිසුන් සේ ගස් ගල් රූප පිළිම වන්දනා මාන කරමින් ඊටත් එහාට ගොසින් හාස්කම් ප්‍රාර්ථනා කරන සමාජයක අපිද එක් පුරුකකි. විශේෂයෙන්ම දරුවන් අහිමි කතුන්ට දරුවන් ලබා දෙන ප්‍රාතිහාර්‍ය පාන විශ්ම කර්ම දිව්‍යපුත්‍රයින් අද වන විට මාපියාවක් බවට පත්ව ඇති කේදවාචකයකි. ඇඟට වැහුන යකුන් එලවන්නට අහවල් දේවාලවට ගෙනියන දරුවන්ව දූෂණය කළ පුවත් අසන්නට ලැබෙන්නේද මිත්‍යාවේ ගොදුරක් ලෙස නොවෙද? අහවල් පල්ලියේ තැඹිලි ගෙඩි අච්චරක් බී ලෙඩ සුව කරගන්නට ගොස් මියගිය මිනිසුන් ගැන අසන්නට ලැබෙන්නේද මිත්‍යාවට මුල් බැස ගත් නිසා නොවෙද?
    මනුස්සයා අසරණ වූ විට පිඳුරු ගසෙත් එල්ලෙනවා කියන්නේ බොරුවට නොවේය. ඉතින් බොහෝ විට සිදු වන්නේ හවුහරණක් නැති පුද්ගලයා පිහිටක් සොයා මිත්‍යාව පසු පස ගොස් එහි ගොදුරක් වීමය. බොහෝ විට මේ සියල්ල සිදු වෙන්නේ ආගම මිත්‍යාවක් වූ කල්හිය. එය වසංගතයක් හා සමානය. පැතිරී යන්නේය. පෘතග්ජන මිනිසුන් එකා ගානේ බිලිගන්නා ගැඹුරු අගාධයකි.
    සරල බසින් රචිත මෙම කෘතිය සමාජය තුළ මුල් බැසගත් මිත්‍යාව ගැන ගැඹුරු විවරණයක් කරන අපූරු කෘතියකි. එය මනසින් සිතා බලා සිහිබුද්ධියෙන් කරුණු කාරණා අවබෝධ කරන්නකි. ඉතා හරවත් කෘතියක් ලෙස සමාජයේ අඳුරු යථාර්ථය කතා කරන කෘතියක් ලෙස සැබැවින්ම පැසසුම් කටයුතුය.
    ස්තූතියි…
    පොසිකා රණසිංහ.

  2. Admin

    Sandamali Fernando විසින් ලියූ සටහනක්
    ලෙඩෙක් මැරුනොත් වෛද්‍යවරු ඔහු මරා දමලා ලෙඩෙක් සුව වුවහොත් දෙවියන් ඔහු බේරා ගෙන තියෙනවා කියන කියමන ඔබ අහල තියෙනවද? අවිද්‍යාවත් විද්‍යාවත් අතර දෝලනය වන මිනිස්සු, විද්‍යාව පරයා අවිද්‍යාව හෙවත් මිත්‍යාවට තවමත් ගැතිවෙලා නොපෙනෙන දේවල් ගැන විශ්වාස කර කර ඇති දේ නැහැයි කියාත් නැති දේ ඇතියි කියාත් කිසිම වගවිභාගයකින් ප්‍රශ්ණකිරීමකින් තොරවම පිළිගන්න තරම් තවමත් මෙච්චර දියුණු යුගයක පවා කටයුතු කිරීම ඇත්තටම පුදුමයට කරුණක්…
    අතීතයේදී නම් ගස් ගල් ගින්දර වගේ දේවල් වලට වන්දනාමාන කරලා
    ඒවාට දේවත්වයක් ආරෝපණය කරලා ඒ දේවල් අදහමින් මිනිස්සු ජීවත්වුනා කියල අපි දන්නව .ඒත් ඒ වගේ සමාජයක ඉදන් ක්‍රමිකව දියුණුවූ වර්තමානයේදී පවා මිනිස්සු නොයෙක් ආකාරයේ මිත්‍යා විශ්වාසයන් ලුහුබදින්නේ ඇයි කියල තවමත් හිතාගන්න බෑ… ආගමික මිත්‍යාව තාමත් මේ ලෝකේ තැන් තැන් වල සමහරවිට බරපතලව හෝ යම්තාක් දුරකට තියෙනව කියල අපි දන්නව… මොකද අපේ රටේ උනත් සමහර මිත්‍යා විශ්වාස තියෙනව ඒවා පස්සෙ දුවන අය ඕනතරම් ඉන්නව කියලත් ඔබ දන්නවා…
    ඉතින් මේ කතාව එවන් ආගමික මිත්‍යාව ගැන ලියවුණු වෙනස්ම විදිහේ පොතක් ගැන… සමහර දේවල් විවෘතව කතා කරන්නට පසුබටවෙන අදහස් දක්වන්නට පැකිලෙන, හැංගෙන ලෝකයක් තුළ මේ පොතේ ලියවෙච්ච කතාව කියවලා ඒ අකුරු අස්සෙන් දැකලා ඔබට පුළුවන් අර කලින් කිව්ව වගේ මිත්‍යාව පස්සෙන් ලුහුබදින එක්කෙනෙක්ව හරි නවත්තගන්න…
    ඇත්තටම පුළුවන්ද… ඔව්.. අනිවාර්යයෙන් . සමහර පොත් තියෙනවා ජීවිතේ වෙනස් කරන්න පුංචි පුංචි දේවල් එකතු කරගන්න පුලුවන්… ප්‍රශ්ණයක් විසදගන්න, අලුත් අදහසක් ඇති කරගන්න, වෙනස් විදිහකට හිතන්න පුරුදු වෙන්න, දියුණු වෙන්න, හොද ආකල්ප ඇතිකරගන්න, දුකක් සතුටක් බවට පත්කරගන්න, හදවතින් විවෘත වෙන්න , හිනාවෙන්න , අඩන්න , ප්‍රේමකරන්න මේ හැමදේකටම හේතුවක් දෙන්න අපි කියවන පොත් වලට පුලුවන්… ඉතින් නුවණින් විමසලා අවබෝධකරගන්න පුළුවන් විදිහේ කතාවක් තමයි මේ පොතෙන් කියන්නෙත්…
    “බාබා එක්ස්”…. ඒක තමයි පොත… මං පොතේ අන්තර්ගත දේවල් අරගෙන ඔබට ඒ ගැන කියන්නෙ නෑ.. මොකද තනි තනිව කියවල රසවිදලා යමක් අවබෝධ කරගන්න ඕනෙ විදිහෙ කතාවක් තමයි මේ… ඒ නිසා ඔබ තාමත් කියවලා නැත්නම් කියවලාම බලන්න…
    නූගත්කම, දුප්පත්කම ,බිය, දුක, වේදනාව ,කරදර ,බාධක , සිත් තැවුල්, ලෙඩ රෝග වලින් බැටකන ගොඩක් මිනිස්සු මිත්‍යාවෙ අතරමංවෙනව… එහෙම අතරමංවෙච්ච අයව හරි අපූරුවට රවට්ටන්න පුළුවන්. හිතේ සියුම්ම තැන් අතපතගාලා හැගීම්බර කරන්න පුළුවන්.. දුර්වල තැන් වලට පහර දෙන්න පුලුවන්…හිතේ අස්සට එකඑක විදිහෙ විකාර අදහස් ආයෙ ගලවන්න බැරිවෙන්න පැළ කරන්නත් පුළුවන්.. එහෙම මිනිස්සුන්ගෙන් ගොඩයන්න මාන බලන ප්‍රයෝජන ගන්න බලන මිත්‍යාව ජාවාරමක් කරගත්ත මිනිස්සු මේ ලෝකේ තැන් තැන් වල විසිරිලා ඉන්නව. තාමත්.
    සමහර මිනිස්සු අහිංසකයි . ඒ අහිංසකකමට දුප්පත්කම බඩගින්න එකතු උනාම හැදෙන මනුස්සයාට මිත්‍යා විශ්වාසෙකින් ලැබෙන පුංචි මානසික සතුටත් මහමෙරක් ඒ වගේම තමා අනිත් අතට සමහර මිනිස්සු කපටී…වංචනිකයි. ඒ කපටිකමට ධන ලෝබයයි බල ලෝබයයි එකතු උනාම හැදෙන මනුස්සයාට මිත්‍යා විශ්වාස කියන්නෙ තව කෙනෙක්ව අන්දලා තමන්ගෙ අරමුණු ඉටුකරගන්න හොද මාර්ගයක්…
    අපිට නොදැනි අපිත් සමහර මිත්‍යාවන් වලට වක්‍රව හෝ අහුවෙලා ඇති ඇන්දිලා ඇති කියල මේ කතාව කියවන් යද්දි ටිකක් හොදට කල්පනා කලොත් ඔබට මතක්වේවී… ඉතින් ඉස්සරහ දවසකදී ආපහු ඒ මිත්‍යාවන් වලට ඔලුව පාත්කරලා පිළිගන්නවාද ඔලුව කෙලින් තියාගෙන බැහැර කරනවාද කියලා හිතන්න හේතුවක් දෙන කතාවක් තමයි මේ… හරිම රහට ලියවුනු…
    මුතුමුදලිගේ නිශ්ශංක මහත්මයා…පොතක් ඇතුළෙන් චිත්‍රපටියක් පෙන්නන අපූරු හැකියාවක් ඇති ඔබගෙන් එකිනෙකට වෙනස් විදිහේ නිර්මාණයන් රසවිදින්න ලැබීම ගැන ගොඩක් සතුටුයි…. .”බාබා එක්ස් ” මම කියවපු තවත් වෙනස්ම විදිහෙ අපූරුම කතාවක්… ඇබ්බැහි වෙන සුළු පොත් නම් ඔබේ පොත් එහි ඉදිරියෙන්ම ඇති … ඔබට සුබ පැතුම්….. තව තවත් වෙනස් විදිහේ නිර්මාණයන් ගේන්න ඔබට ලස්සන අදහස් වැඩිවැඩියෙන් පහළවේවා….✍️✍️😁😁😁

  3. Admin

    Sanjeewani Aberathna විසින් ලියූ සටහනක්
    🌷🌷””මිත්‍යාව ආගමක් වූ කල්හී….”🌷🌷
    බාබාX….
    සත්‍ය …..
    පිළිගැනීමට අකමැති ⁣සත්‍ය ..එය මුවා කරන පිරැවට නම් මිත්‍යාවෙන් පිරි ආගමික සංකල්පයයි…ආගම ඕනාවටත් වඩා බැතිමත් වූ කල සත්‍ය යටපත් වනු ඇත.
    මිත්‍යාව රජයනු ඇත…🌷🌷
    ආගම, දේවසංකල්ප ….හුදු මනසේ ඇතිවන සත්‍යය සඟවන තිරපටක් පමණි එය ඉරා දැමීම මනස තුලින්ම කළ යුත්තකි .මන්ද යත් ආගමීකරණය වූ නූතනයෝ මිත්‍යාව කරගසාගෙන තවමත් සත්‍ය⁣ට බොහෝ දුරින් ජීවිතය අඳුරේ අතපතගාන නිසාවෙනි……..🌷🌷.
    බාබාX තුලින් පැහැදිලි කරන මිත්‍යාව ආගමක් වූ කල….සැබෑම සමාජයේ නියෝජනයක් බවත් එය මනසේ ඇති හුදු මනංකල්පිත වලට ජීවය ලබාදෙන බවත් එයින් අවුල්වියවුල් ඇති මනස වියවුල් සමාජයක් බිහිවී ඇති බවත් අවිවාදයෙන්ම පිළිගත යුතු සත්‍යයකි….🌷🌷
    ආගම ඕනෑවට වඩා ආගමික වූ කල්හි මිත්‍යාව අඳ බව නිරායාසයෙන්ම එතන රජයයි…….🌷🌷
    මෙහිදී කතුවරයා ජීව,මාර,ලසා යනාදී ලෙස චරිත තුනක් දක්වයි…ජීව……….ජීවිතය දෙන යන අදහස දක්වයි.ජීවිතය දෙන්නා යනු මෙහිදී උපතක් ලබා දීම ක් අදහස් නොකලත්…කතාවේ පරිදි එය ජීවත් වනවුන්ගේ නැවත උපතක් ලෙස මට හැඟේ…මෙහිදී කපටිකමින් වංචාවෙන් කෙසේ හෝ තම අරමුණ ඉටු කරගන්නා ජීව….(ජීවිතය දරන්නා) මුළුමහත් මිනිස් සංහතියම නියෝජනය කරන්නේ අද සමාජයේ එක් පැතිකඩක් විවර කරමිනි.අනිකෙකු රවටා තම සුඛ විහරණය උදෙසා ජීවත් වීම, ජීවගේ අරමුණ යි .අනික් එකාට හෙණ ගැහුවත් කමක් නෑ….ඔහුගේ තේමාවයි…..ජීවගේ සූක්ෂම කපටිකම නම් ඔහුකෙරේ අනෙකුත් අය නම්මා ගැනීමයි..ඔහු එයට බාවිතා කරන්නේ මනුෂ්‍ය සංහතියේම දුර්වල ම ස්ථානය වන ආගමයි……..😊 ආගමික අන්ධතාවයෙන් පෙ⁣ලෙන මේ මහා මිනිස් ගංගාව උවමනා අතට නවා ගැනීම ඉතාමත් පහසුම මාර්ගය බව ඔවුන් මැනෙවින් දනී.
    අද සමාජයේ ද මෙලෙස මිත්‍යාව වපුරන බොහෝ ඇත්තන් සිටී…..කදිම නිදසුන් ඇතත් මතක් වූවත්…😊😊😊 එය කවුරැන්දැයි ලිවීමට නම් කිරීමට අපහසු ය.මන්ද යත් එම මිත්‍යාව වැළඳ ගෙන එය තම ජීවිතය කරගත් අය අදත් බොහෝ සිටින නිසාවෙනි….
    ඍධිමත් එම බාබාට ද…(ගනින්නාන්සේ) ජීව ලා බොහොමයක් ඇති නිසා එම වපුරන මිත්‍යාව තවමත් දළු ,කොළ දමා වැඩෙමින් පවතී….😁😁
    මාර………..
    කතුවරයා මෙහිදී මරණය නියත ධර්මයක් බව පසක් කරවීමට උත්සහ කරයි…ඔව් මරණය…කවදා කෙසේ කොහේ කිනම් ආකාරයට සිදු වේදැයි නෙිදන්නා එකම නියත ධර්මය……එයට අනුගත වන සියල්ලෝම එතෙක් මේ දිවිගමනේ එකිනෙකා රවටමින් තමන්ගැන පමණක් ම සිතමින් ජීවත් වෙයි…..
    මාර විවිධ ආකාරයෙන් සමාජයෙහි අදද සැරිසරයි.
    එය ද මිත්‍යාව නැමති දම්වැලෙහි එක පුරැකකි බලය, මුදල තනතුර ලැබෙන විට එතන මාර අනිවාර්යයෙන්ම සැරිසරනු දක්නට ලැබෙනාතර…එයද රැවටීම් හා බලය තුලින් සිය ගොදුරැ ඩැහැගනී………
    ලසා……….💣☺️ ගෑවුන තැන විනාශයක් ලෙස දක්වා ඇතිය….තවද වෙනස්වීම ට අරැත් දෙන අතර අනිත්‍ය⁣ය නැමති දහමෙි නියතයක් ලෙසද දක්වා ඇත.
    ලසා යනුවෙන් ගැහැණිය ගැනද කාමය, ආදරය,රාගය,පොරොන්දු ,වෙස්වීම්, හිමිවීම ආදියද කතුවරයා දක්වයි….ගැහැණිය හලාහල විෂක් ලෙසද ගැහැණිය ඇමක් ලෙසද ,ගැහැණිය සදාකාලික වස්තුවක් ලෙසද,ආත්මයෙන් ආත්මය පැතිය යුත්තියක ලෙසද දක්වා තිබේ..
    ඇත්තෙන්ම එය එසේම වෙමින් පවතී….
    කතාවෙහි පරිද්දෙන් කතුවරයා මැවූ මනංකල්පිත චරිත පණ ලබා අද සමාජයේ සතර අතම සැරිසරනු දක්න⁣ට ලැබෙනාතර ජීවිතයේ විවිධ අවස්ථාවන්හී අපටද මුණ ගැසේ…..සිහිනුවණ එළඹවා ජීවත් වීම හෝ එයට වසඟ වීම අපවැනි මිත්‍යාන්ධිකයන්ගේ වගකීම බව කතුවරයා මෙම කතාවෙන් සමාජයට පණිවිඩයක් කියයි…
    අපි දැන් බාබා X කතාව තුලට යමු……..
    ජීව විසින් ඔප දමනා බාබා හෙවත් දේවත්වය නම් මිත්‍යාව වැඩි දියුණු කර ගනිමින් බාබා සමාජයේ නමක් ඇතිකරගෙන සුඛිත ජීවිතයක් ගතකරණා අතර ශිව ලිංගය විශ්වාස කරනා ගැහැණුන් සිටිනාතෙක් තම ලිංගය පිනවීමේ වරමද පවත්වාගෙන යයි…😐
    කාමාතුර ජීවිතයක් සුදු පිරැවටින් ඔතාගෙන මුග්ධ පිළිවෙතක් අනුගමනය කරන බාබා වැන්නයවුන් අදද මේ ලොව පුරා වැලිකැට ගනනට ඇත..අදද මේ මොහොතේ වූවද කොහේ හෝ බාබාවෙකු අන්ධ භක්තික ලසාවකට දරැවෙකු ලබාදෙමින් සිටිනු ඇත……
    කාන්තාව හෙවත් ලසා වනාහී රාගයේ ගිනිදැල් මවන්නිය ……..
    ලොව පුරා මාර වැන්නවුන් පිනවීමෙන් සහ බාබා වැන්නවුන් ඇදහීමෙන් ඉක්මනින් ම මාර වෙත යනඅතර පසුව මාරග්‍රහණයට හසුවන වුන්ගේ සදාකාලික වස්තුව බවටත්, ආත්මයෙන් ආත්මය පතන්නිය බවටත් පත්වේ….රහස් ගනනාවක් සඟවාගෙන ගෑවුන තැනක හලාහල විෂ පතුරවන්නිය ලෙස හඳුන්වා දෙන ලසා ලා මේ සමාජයේ කොතෙක් නම් ඇතිද……….
    X යන පදයෙන් දක්වා ඇති බාබාලා ,මාර,ලා,ජීවලා,ලසාලා කුලකය මේ සමාජයේ අදත් අපිඅතරම ඉන්නා බවට කතුවරයා පුනපුනා කියයි..ඒ කවුරැන්දැයි හඳුනාගැනීම බාබා X කියවන්නා වූ සුවහසක් පාඨකයින්ගේ වගකීම බවත් ඔහු නොකියා කියන පණිවිඩයක් බව මට සිතේ……
    අන්ධ භක්තිය,ශිව ලිංග වන්දනාව,දේව ධර්මය, ආශිර්වාද පැන්…….
    ඔබටත් මටත් මතක් වෙනවා නොවේද…..☺️☺️☺️………
    එවැනි ,,X ලා ලොවපුරා අදත් ලසා ලවා ජීවිතය දෙන්නා වූ ජීවය මාරග්‍රහණයට බිලිදෙන අතර…රැවටීම මිත්‍යාව සදාකාලික නොවන බවත් එම රැවටීමෙන්ම තමන්ද මාරකරා යන බවත් අවසන හිස් බවත් මුකුත්ම නැති මායාවක් බවත් දක්වයි….
    අපි තවදුරටත් එම මායාව වැළඳගත යුතුද……
    දේවත්වය නැමති කඩතුරාවෙන් එතූ ආගමික මිත්‍යාව ජීව විසින් පණ පොවනාතර එය වැළඳගන්නේද සුවහසක් ජීවලා විසින්මය..
    ඉතිහාසය පුරාම මෙලෙස බාබා, ජීව, මාර, ලසා ලා විසින් මිත්‍යාව, ආගම , ස්වභාවධර්මය , හා විශ්වය යන කොටුවේ කොන්සතර ඝට්ටනය කරමින් වැටෙමින්,නැගිටිමින්, අඬමින්,හිනැහෙමින්,ජයගනිමින්,පරාජය වෙමින්,කෙලෙසමින්,රවටමින්,ගිලගනිමින්,විනාශ කරමින්, ස්පර්ශ කරමින් ඝාතනය කරමින්……………………
    ජීවත් වේ…….😐තවද,….. අදද…ඉදිරියේ ලියැවීමට නියමිත ඉතිහාසය පිටුඅතරද
    බාබාලා දේවත්වයෙන්ද, ජීවලා ජීවිතය පිරිනමමින්ද මාරලා,මරණය නියතයක්බව පසක් කරමින්ද, ලසාලා අනිත්‍ය සහ වෙනස්වීම පෙන්වමින්ද අන්ධආගමික මිත්‍යා භක්තිකයන් අතරින් ඉදිරියට යනු ඇත………
    වෙනස් වන ලෝකයේ ජීවයත්,දේවත්වයත් නැසීයන අතර වෙනස් වීම් වෙමින් හෝ නොවෙමින් මාර හෙවත් මරණය සදාකාලිකව ඉතුරැ වේ……ලෝකයේ එකම සත්‍ය වූ ධර්මතාවය සහ නිත්‍ය නියතය මරණය…සදාකල්ම ලොව පවතී…..
    අවසාන වශයෙන් සත්‍යයෙහි එක් පැතිකඩක් ගෙන පෑ# නිශ්ශංක මුතුමුදලි වන ඔබට මාගේ ස්තූතිය…💐මන්ද යත් කවුරැ කෙසේ කියූවත් මාද ආගම ආගමීකරණය කොටගෙන පවත්වන්නේ නැති බැවින් කිසිදු මිත්‍යා සංකල්පයක කොටස්කාරියක නොවීම ගැන නිහතමානී සතුටිනි…….🌷🌷
    බාබාX ……….සියළු ලෝවැස්සන්ගේ බුද්ධියෙහි විමසුට ………..🌷🌷
    ජයවේවා!!!!!!!

  4. Admin

    Inoka Sanjeewani විසින් ලියූ සටහනක්
    🙂 බුදු දහම දර්ශනයකි.අප මහා ශාස්තෘවරයාණන් වහන්සේ දේශනා කල ධර්මය හා පෙන්වා දුන් සත්‍ය ඔබේ මේ කතාවට අනූව මෙසේ ගලපමි🙂.
    🌎️ජීවය: මා මේ සටහන ලියන,මොහොතේ පවා ,ආපෝ,තේජෝ, වායෝ,පඨවි යන සංඝටකවලින් සමන්විත සත්වයෝ විවිධ ස්වරූපයෙන් මෙලොවට බිහිවෙමින් පවතී.
    ඒ අයුරින් බිහිවන,සත්වයා පංච ස්කන්ධයට ඇලෙමින්, අටලෝ දහමට මුහුණ දෙමින් තම ජීවිත ගත කරන්නාහ🙂.
    🙂ජීව තම මවගේ දේහය මිහිදන් කල මොහොතේද,තම සහෝදරිය මරා දැමූ මොහොතේ සිට ලසා හමුවුන මොහොතේදීත්,නැවත ජීවය ලද්දාහ.ජීව බාබා සමගින් ඉදිරියට ගොස් අනිත්‍යතාව හා වෙනස්වීම ,මරණය හමු වුන තැනදී විනාශයට පත් වන්නාහ🙂.
    🙂බුදු දහමට අනූව ඉපදීම දුකකි.එහෙයින් බුදුන් වහන්සේ සියලු ලෝක සත්වයාට හිත සුව පිණිස නිවන් සැපය පෙන්වා දුන් සේක.උන් වහන්සේ මෙලොව ජනිත වූයේ මේ සසරෙහි අවසන් උපතත් රැගෙනය.🙂
    🌎දේවත්වය: බෝධි සත්වයෝ දෙව් ලොව වැඩ වසන සමයේදී ,දෙවිවරු විසින්, බෝධි සත්වයින්ට මනු ලොවට වැඩ එහි සත්වයින්ව දුකින් මුදා ගැනීමට සුදුසු කාලය බව හගවා දේවාරාධනාවක් කල සේක.ඒ මොහොතේ පටන් බුදුන් වහන්සේ පිරිනිවනට වැඩිපසුත් ධාතූන් වහසේලා දෙව් ලෝකයට වඩම්මා එහි සෑයක් ඉදි කර එයට වන්දනාමාන කරන සමය තෙක් බෝධි සත්වයින්ට උදව් උපකාර කරමින් උන් වහන්සේ ලගින්ම සිටියේ සැබෑම දෙවිවරුය🙂.
    🙂නමුත් බාබා මිනීමරුවෙකි.නිගන්ඨයෙක් ලෙස සැරිසරමින් කාන්තාවන්ට දේව දරුවන් ලබා දෙනවායැයි කියමින් තමාගේ පහත් ලිංගික ආශාවන් සන්තර්පනය කරගන්නා හොරෙකි.ඔහු දේවත්වයට නිගාවකි🙂.
    🙂මෙලොව හැර යන සමහර මිනිසුන් ,යක්ශ ,ප්‍රේත ,භූත නාමයෙන් මෙලොව සිටින තම නෑයන්ට ,හිතවතුන්ට අරූඪ වේ.එවැනි අවස්ථා වලදී දෙවියන්ගේ නාමයෙන් යන්තර.මන්තර වශී ගුරුකම් හදි හූනියම් ආදිය කරන බාබා වැනි අය අප,සමාජයේ ඕනෑතරම්.🙂
    🙂නමුත් දෙවි දේවතාවුන්ට පින් කරගත නොහැක.ඔවුන් මිනිසුන් දෙන පින් අනුමෝදන් කරගෙන ජීවත් වෙති.
    🙂එබැවින් ඔබ මෙහි පෙන්වා දෙනවා බාබාට ජීව හමු වූ තැන ,දේවත්වයට ජීවය මුසු වූ කල එය ඉතා සාර්ථක ලෙස ඉදිරියට ගලා යන බව.
    🌎වෙනස්වීම:මෙලොව සියල්ලම හට ගත් ලෙස නොපවතින බවයි.බුදු දහමට අනූව අප උපත ලද දින සිට ශාරීරිකව හා මානසිකව අප වෙනස් වෙනවා. බෝසතාණන් සතර පෙර නිමිති දැකීම තුලින් මෙලොව අනිත්‍ය බව වටහා ගන්නවා.වෙනස්වීම,අනිත්‍ය බව යනු අප අනිවාර්‍යෙන් මුහුණ දිය යුතු දේවල්ය.
    බුදු රදුන් සොයාගත් පරිදි ඉපදීම දුකකි.වයසට යෑම දුකකි.මරණය දුකකි.මේ වෙනස් වීම් හා අනිත්‍ය බාවය ඉදිරියේ දිය හැකි එකම පිලිතුර නිවනයි.
    🙂ජීවට ජීවය දුන් ලසා ක්‍රමයෙන් මාරට ලං වෙනවා.එහි අරමුණ පහත් කාමුක ආශාවන් සන්සිදුවා ගැනීමයි.දේවත්වය හා ජීවය වෙනස්වීම හා මරණය හමුවේ පරාජය වෙනවා
    🌎මරණය: ඔබ ගෙන දැක් වූ සංකේත වලින් වඩාත් ප්‍රබල සැමදා ලොව පවතින බලවත් සංකේතය මෙයයි. තුන් ලොවටම,අග්‍ර වූ අප මහා බෝසතාණන්ටවත් මේ මරණය නැමති ගැටයෙන් ගැලවෙන්නට හැකි වුනේ නැහැ.එයින් ගැලවීමේ මග ලෙස උන්වහන්සේ මරණින් මතු උපතක් සිදු නොවීමට හා සසර කෙටි කර ගැනීමට කල හැකි දේ කියා දුන් සේක.. සෝවාන්,සකුර්දාගාමී,අනාගාමි අර්හත් යන මාර්ග වලින් නිවනට ලගා වීමට මාර්ගය කියා දුන් සේක.
    🙂 ,අවසන,ජීවය ,දේවත්වය ,වෙනස් වීම හා අනිත්‍ය බව යන සියල්ල,විනාශ වුනා.සැමදා ලොව පවතින ධර්මතාව ලෙස මරණය අන් සියල්ල අභිබවමින් ජය ගත්තා.
    🙂මා දකින ලෙසට බුද්ධ ධර්මයේ නියම යථාර්ත වාදි බව එයයි
    🙂කාලය චක්‍රයකි.ඒ චක්‍රය තුල අපි යලි මුන ගැසේවි.😍😍😍.

  5. Admin

    Thisara Lakshan විසින් ලියූ සටහනක්
    බාබා x ඒකනම් පිස්සුවක්. ඇත්තටම පිස්සුවක්. එක හුස්මට කියවගන යන්න පුලුවන් තරමේ පිස්සුවක්. ජීවිතේ තේරුම් ගන්න පුලුවන් පිස්සුවක්. හොඳ පාඩමක්. විශ්වය තමා හැම දෙයක්ම. දෙයියෙක් නෑ. හැබැයි අපි මොකද කරන්නෙ. අපි සංස්කෘතික බැම්මකට කොටු වෙලා ඉන්නව. සමස්ථ ලෝකයම. ලෝකෙ හැමෝම ආගමකට,සංස්කෘතියකට,ජාතියකට කොටු වෙලා නිදහසක් නැතිව ජීවත් වෙනව. හරියට වහල්ලු වගේ. ඔවුන් නොපෙනෙන ,කවරදාකවත් නොදුටු දෙවිකෙනෙක් විශ්වාස කරනව. ඒකත් හරියට ක්ෂිතිජය දිහා මෑත ඉඳන් බලන් ඉන්නව වගේ. අහස,මුහුද එකට හා වෙනව වගේ පේනව. නමුත් එයා දන්නෙ නෑ ඒ තියෙන්නෙ හිස් අවකාශයක් කියල. මිනිස්සු එක එක දේවල් දෙවියන්ගෙන් ඉල්ලනව. එක එක දේවලට බාර වෙනව. ඔවුන් එය ලැබෙයි කියල දැඩිව විශ්වාස කරනව. නමුත් ඔවුන් ඒ සදහා මහන්සි වෙනව. අවසානයේ ඒ බලාපොරොත්තුව, ආයාචනය ඉශ්ට වෙනව. නමුත් ඔවුන්ට මතක නෑ ඔවුන් ඒ සඳහා මහන්සි උනාය කියල. ඔවුන් ඒත් අර නොපෙනෙනෙන දෙවියටම ස්තූති වෙනව. ඔවුන් තමන්ගෙ තිබ්බ හැකියාවන් නොපෙනෙන දෙවියකුට ආරෝපණය කරල. සිදුවන්නේ සත්‍ය තේරුම් ගැනීමේ නොහැකියාව නොව අකමැත්තයි.
    සටහන – තිසර ලක්ෂාන්
    මුතුමුදලිගේ නිශ්ශංක

  6. Admin

    බාබා X….
    (මිත්‍යාව.., ආගමක් වූ කල..)
    “ඇතැම් විට මා අදහන්නේ මිත්‍යාවක් විය හැකිය. තවත් විටෙක, එය මිත්‍යාවද සත්‍යය ද කවලම් වූවක් විය හැකිය.”
    බාබා X කියවන අතරතුරේදී මගේ සිතට නැගුණු සිතිවිලි වලින් එකකි ඒ.
    ලංකාව පුරා පැතිර යන ‘ආගමික මිත්‍යාව’ විශේෂ හේතුවක් කොටගෙන රචනා වූවක් යැයි කතුවරයා පවසා තිබුණද, මට එය ලාංකේය ආගමික, දේශපාලන, සමජයීය වටපිටාව මෙන්ම මිනිස් වර්ගයාගේ සිතිවිලි පිළිබඳවද නැවත නැවතත් සිතන්නට යොමුකරවන්නක් විය. පොත කියවන අතරතුරේදී එහි චරිත සහ සිද්ධීන් සමග මම විටින් විට මම දන්නා චරිත සහ සිද්ධීන් ගැළපූවෙමි. සසඳා බැලුවෙමි. විටෙක එය දේශපාලන චරිතයක් වූ අතර තවත් විටෙක කතුවරයාද විය. බොහෝ වාර ගණනකදී ඒ සැසඳීම මා සමගද විය.
    මට අනුව, ‘බාබා X’ යනු පහසුවෙන් සහ ඉක්මණින් කියවාගෙන යා හැකි පොතකි. නමුත් කියවන අතරතුරේදී හමුවන බොහෝ පද ගැළපීම් වල සැඟව ඇති අරුත් පිළිබඳව ඉඟිබිඟිද විය. එවන් පද ගැළපීම් වලට පෞද්ගලිකව මම බොහෝසෙයින් මනාප වන අතර ඒවා විසඳීමට සහ තව තවත් අරුත්ගැන්වීම සඳහා කිහිප වතාවක් කියැවීමට අදහස් කර සිටිමි.
    පොත ලියැවී ඇති භාෂා රටාවද පාඨකයා කතාව තුළට ඇද බැඳ තබාගැනීමට සමත්‍ ය.
    ඇතැම් තැනෙක තද කළු අකුරින් මුද්‍රිත වාක්‍ය ඇති අතර ඒවා කතාවෙහි මුඛ්‍ය අර්ථය කුළුගන්වන්නට සමත්වනවා විනා කතාවට බාධාවක් ඇති නොකරන බව මගේ හඟීමයි.
    “අප සියල්ලන්ම හසුකරගත නොහැකි කිසියම් මිත්‍යාවකට හසුව ඇත්තෝ වෙමු. සත්‍යයක් සේ එය විශ්වාස කරමින්, එයට අනුව ජීවත්වන අප එම මිත්‍යාව ජීවත්කරවන්නවුන් ද වන්නෙමු.’
    වෙනස් හැඩයන්, වෙනස් දෘෂ්ටිකෝණයන් ගත් තවත් කෘති අප වෙත ගෙන එන්නට මුතුමුදලිගේ නිශ්ශංක මහතාට හැකියාව ලැබේවායි ප්‍රාර්ථනා කරන අතර ‘බාබාX’ රචනා කිරීම වෙනුවෙන් ස්තූතිවන්ත වෙමි.

    අනුෂි ස්වර්ණමාලි විසින් ලියූ සටහනක්

  7. Admin

    Gihan Ranasinghe විසින් ලියූ සටහනක්
    හැදුනොත් හොඳ කරන්න බැරි පිස්සුවක් තමයි,මුතුමුදලිගේ නිශ්ශංක මහතාගේ පොත් කියවන එක😄😍
    ඔබතුමා ලියනවා අපි මෙහේ සමවදිනවා.එකම කියවිල්ලක්.අපිත් ජීවගේ මුං ගුලි කාල වගේ.😇😇😁😁
    මේ ලියන විදිහට මං ගොඩක් කැමති.පේලි දෙකක් කියෙව්වම අපිත් කෙලින්ම කතාව ඇතුලේ.🤗🤗ඉතින් ඒ ලිවිල්ල ගැන ආයේ කියන්න දෙයක් නෑ.
    බාබා X ගැන කියනවා නම්,සමාජයට ලොකු පණිවිඩයක් දෙන සහ හිතන්න ගොඩක් දේ ඉතිරි කරන කතාවක්.👍👍
    මං හිතන්නේ වර්තමානයේ අති බහුතරයක් දෙනා මේ කතාවෙම යම් යම් තැන් වලට සම්බන්ධ චරිත.ඉතින් තමන් කොතැනටද අයිති කියල තමන්ටම විනිශ්චය කර ගැනීමට පුළුවන් කතාවක්.
    කෙලින්ම ඇස් හරහා මොළයට දීල තියෙන්නෙ.🙄🔫
    ඉතින් නිශ්ශංක මහතාට ස්තූතිවන්ත වෙනවා තවත් වෙනස්ම මානයේ පොතක් පාඨකයාට තිලිණ කරාට.🙂👌👍

  8. Admin

    Emashi Muthumudalige විසින් ලියූ සටහනක්
    බාබා X.. කියවා අවසන් කර ටික දිනක් සිත සිතා සිටින්නටත් යොමු කළ කෘතියකි.
    මහගම සේකර යන්ගේ ප්‍රබුද්ධ සේම ගැඹූරු යථාර්ථයක් ගැන ලියවෙන නමුත් වෙනම ආරක් ගත්තාවූ ආගමික මිථ්‍යාව ගැන ලියවෙන ලංකාවේ පලමු කෘතිය දන්නා ලෙස මෙයයි.
    බාබා X, විටෙක sadhguru, Osho, Sai බාබා හා ලංකාවේ නම ගිය සංඝයා වහන්සේලා බොහෝ නමක් සේම ලාංකික දේශපාලන නායකයන් බොහෝ දෙනෙක් නියෝජනය කරන චරිතයක් ලෙස මනසින් දුටුවෙමි.
    ආගමක් සරණ යාමට මානව මනස තුළ ඇති අසරණ භාවයත් දුර්වල භාවයත් නිසා ආගම සහ සර්වබලධාරී දෙවියන් හෝ අප්‍රමාණ දේව චරිත හෝ බිහි වීම මානවයා විසින්ම සිදු කර ගන්නා ආකාරය බාබා X අපට මනාව කියා දෙන ලෙස මට දැනුණි.
    එමෙන්ම දේවත්වයට හෝ විශ්වයේ කිසිම බලයකට මැඩ පැවැත්වීමට නොහැකි ස්වභාවය ධර්මතා වන වෙනස්වීම සහ ඕනැම දෙයක ඇති අකාලික බව /නැති වීම ගැන බාබා X මට වඩාත් පසක් කළ බව කිව හැක.
    විශ්වයේ ආකර්ෂණ නීතිය ලෙස විශ්වාස කෙරෙන විශ්වාසය පවා විශ්වාසයට වඩා ස්වභාව ධර්මයේ අහඹු තේරීම් සහ ඇති නැති විම් ලෙස බාබා, ජීව සංවාද වලින් මා හට වැටහුණ අදහසයි. මම වැනි කිසි දෙයක් මගේ බුද්ධියට නොගැලපේ නම් විශ්වාස නොකරන අයකුට බාබා X කෘතිය තවත් ප්‍රණීත මනස් ආහාර යක් සේ හැඟුණි.
    අගයක් මිස කිව හැකි නරකක් නොමැති මුත්,බාබා X වැන්නවුන් පතුරවන ආගමික බීජ වල අතුරු ඵල ගැන සහ සමාජීය පසුබැස්ම ගැනත් ඉදිරියේ කෘති ලිය වෙ නම් ආගමික මිථ්‍යාව විනාශ කරලීමට එය තවත් පිටුවහලක් වනු ඇත.
    එමාෂී මුතුමුදලිගේ

  9. Admin

    Pathtum Ekanayaka
    විසින් ලියූ සටහනක්
    පොතකට පුලුවන් කතාකරන්න❤️
    ඇත්තටම බාබාx පොත කවරෙ ලස්සන නිසාම මම කියවන්න තියෙන පොත් ඔක්කොම පැත්තකට දාලා අතට ගත්තෙ මොකක්ද මේ බාබාx….? කියන ප්‍රශ්නාර්ථයත් හිතේ තියාගෙනයි.ඇත්තටම එක හුස්මට කියවන් යන්න පුලුවන් රසවත්ම පොතක් වෙච්ච බාබාx කියවලා ඉවරවෙනකොට මගේ හිතේ තිබුණ ප්‍රශ්ණ වලට පිළිතුරු මට ඉතාමත් අපූරු විදිහට සාර්ථකව හම්බුණා.
    බාබා,ජීව,මාර,ලසා කියන චරිත වලින් ඔබ්බට ගියපු ගැඹුරු සිතිමට යමක් ඉතුරු කරන, සංකල්පයන් රැසක් කැටි කොට ඉතාමත් දක්ශ අන්දමින් “මුතු මුදලිගේ නිශ්ශංක “සර් අපේ කාලයේ තිත්ත ඇත්ත බාබා x තුලින් මනාව පිළිබිඹු කර තිබෙන අයුරු ඉතාමත් ප්‍රශංසනීයය.මිත්‍යාවේ රෙදි කඩින් දෑස් වසා ආශා භරිතව ජීවිතයේ සැපය සොයනා ජීව,බාබා,මාර,ලසා වැන්නවුන් දෙනෝදාහක් සැරි සරන මෙවන් සමාජයක බාබාx යනු සියළු දෙනාටම ගැඹුරු යථාර්ථයක් හුවා දක්වන අති සාර්තක සියලු දෙනාම කියවිය යුතු හොදම පොතකි.
    මුතු මුදලිගේ නිශ්ශංක සර්ගෙ පොත් ඔක්කොම එක වගේම ලස්සනයි.තව තවත් මේ වගේ ලස්සනම ලස්සන පොත් ගොඩාක් ලියන්න ශක්තිය ලැබේවායි මම හදවතින්ම සුභ පතමි.💕💕💕

  10. Admin

    Sunali Dulanjana විසින් ලියූ සටහනක්
    X යන අපට හමු වන්නේ සහ එය හුරුපුරුදු වන්නේ ගණිතය විෂය තුළදී ය. ගණිතයේ දී නම් පිළිතුර සැඟව පවතින සමීකරණයක් තුළ අප සොයා ගන්නා පිළිතුර සමාන විය යුත්තේ X ට ය. එවැනි අඥාත තත්වයන් පවතින අවස්ථා අපට හමු වන්නේ ගණිතයේදී පමණක් ද? එසේත් නැතිනම් X ට සමාන කළ හැකි මිනිසුන් ප්‍රායෝගික ලෝකය තුළ හමුවනවා ද? ඒ ප්‍රශ්නය ගැන ඔබව තව දුරටත් හිතන්න පුරුදු කරන කෘතියක් ලෙස ‘බාබා X’ සඳහන් කළ හැකිය.
    විශේෂයෙන්ම දේව ඇඳහීම ප්‍රචලිතම රට වශයෙන් අපට අහන්න දකින්න ලැබෙන රට වන්නේ අසල්වැසි ඉන්දියාවයි. ඉන්දියාවේ නම් අඩියක් අඩියක් පාසා මිනිසුන් දේව ඇඳහිල්ලටත්, මිනිසුන් වෙත දේව ආශිර්වාදය රැගෙන එන නියෝජිතවරුනුත් අපට සුලබව දැකිය හැකිය. එසේ හෙයින් යෝගීවරුන් ද එහි සුලබ දසුනකි. නමුත් මේ වන විට දේව ඇඳහීම ඉන්දියාවටම පමණක් සීමා වූවක් නොවේ.
    බාබා X කෘතියට පාදක වන යෝගීවරයා ද තමා ‘බාබා’ ලෙස අනෙකාට හඳුන්වා දෙන ස්ථානයේ පටන්, මෙම කෘතියේ පිටු සියල්ලක් පුරාවට දිවෙන ප්‍රධාන කතාව ධර්මයත් මිත්‍යාවත් අතර පවතින පරස්පර තැන් පාඨකයාට තම ස්වයං අධ්‍යයනය තුළින් කිරා මැන බැලීමට අවස්ථාව සලස්වා දී ඇත. ඒ අනුව මෙම කෘතියේ කතා වස්තුව ගොඩනැගීමට දායක වන ප්‍රධාන චරිත වන;
    1.බාබා
    2.ජීව
    3.මාර
    4.ලසා
    යන චරිත පිළිවෙලින් ඔබට හමු වනු ඇත. ඒ අනුව එක් එක් පරිච්ඡේදය ගොඩනැගීමේදී මෙහි කතානායකයා වන ‘බාබා’ ට ජීව, මාර, ලසා යන චරිත වලින් වන බලපෑම ඉතාමත් ක්‍රමානුකූලව දක්වා ඇත. ඒ අනුව;
    1.බාබා- දේවත්වය
    2.ජීව- ජීවිතය
    3.මාර- මරණය
    4.ලසා- අනිත්‍ය
    නිරූපණය කර ඇත. කතාවේ ආරම්භයත් සමඟ බාබාගේ පළමු අභිප්‍රාය වන්නේ කෙසේ හෝ තම ජීවිතය බේරා ගැනීමයි. ඔහු වංචනික පුද්ගලයෙක් වූව ද ඔහුගේ මනස මුල සිටම හැඩ ගැසී ඇත්තේ ඔහු කළ අපරාධය යටපත් කර ඔහුගේ ජීවිතය කෙසේ හෝ බේරා ගැනීමයි. එහිදී ඔහු තමන්ගේ අවිය ලෙස යොදා ගනු ලබන්නේ ‘දේවත්වය’ යි. සැබවින්ම දේවත්වය යනු ඇසට නොපෙනෙන, ස්පර්ශ කළ නොහැකි දෙයකි. එය විශ්වාසයත් සමඟ ගොඩනැගෙන්නකි. බාබා කොතරම් වංචනික පුද්ගලයෙකු වූව ද ඔහු දේවත්වය අලෙවි කොට සමෘද්ධිමත් දිවිපෙවතක් ගත කිරීමට පසුබට නොවන්නෙකි. මෙහි සඳහන් වන පරිදි ‘මහා ලිංග’ සංකල්පයේ සිට ‘මහා දේව’ සංකල්පය දක්වා ඔහුගේ චරිතය නිර්මාණය වන ආකාරය තුළින් ඔහු මමත්වය වෙනුවෙන් වෙනස් වන ආකාරය පාඨකයාට අවබෝධය කර ගැනීමට හැකි වනු ඇත. එසේම බාබා විසින් මහා ලිංග සංකල්පය ඔහු විසූ පෙදෙසේ ග්‍රාමීය මට්ටමේ මිනිසුන් අතර ප්‍රචලිත කිරීමේදී පිළිම වන්දනාව හා එකී පිළිමයේ ලිංග වන්දනාව ප්‍රචලිත කිරීම සඳහා සීනුව යොදා ගැනීම පිළිබඳව සඳහන් කළ යුතුය. දේව සංකල්පය මුල් බැසගත් රටවල් තුළ ලිංගය වන්දනාමාන කරන බව අප නොදන්නා කරුණක් නොවේ. මෙහිදී එය දෙවියන්ගේ ශක්තියේ හා විභවයේ සළකුණක් ලෙසයි යොදා ගනු ලබන බවයි මෙම සංකල්පය වැළඳගත් මිනිසුන්ගේ අදහස. බාබා ද දේවත්වය තම අවිය කොට ගත් බැවින් ලිංග වන්දනාව තම පැවැත්ම වෙනුවෙන් සුදුසු යැයි තීරණය කොට ගත් බව සිතිය හැක.
    පෙර සඳහන් කළ පරිදි බාබා දේව සංකල්පය ප්‍රමුඛ කොට ගනිමින් මිත්‍යාව වැපිරීමට උත්සහ කළ ද ‘ජීව’ නොමැතිනම් ඔහුගේ සියලු උත්සහයන් ගඟට කැපූ ඉණි මෙන් වනු ඇත. බාබාගේ පැවැත්ම තීරණය වන්නෙ ජීව ගෙනි. ජීව තාරුණ්‍යයේ පසු වූව ද බබාට වඩා පරිණත ඇයුරින් සිතන්නෙකි. ඔහු සබැවින්ම පැවැත්මේ ස්ංකේතයයි. ඕනෑම මිනිසෙකු සමාජානුයෝජනය වන විට ජීවිතය හැඩ ගස්වා ගත යුත්තේ කුමන අයුරකින්ද යන්න අවබෝධ වනු ඇත. ඒ අනුව ජීව තීරණ වලට එළඹීමට පෙර තම වටපිටාව හොඳන් අධ්‍යයනය කරන්නෙකි. නිහඬය, කැළඹීමකින් තොරය. තම වාසස්ථානය මාරු කිරීමට පෙර පවා ඔහු තනිව ගොස් එම ප්‍රදේශන් නිරීක්ෂණය හා කිරීමෙන් පෙනී යන්නෙ ජීව යනු සැලසුම් සහගත පුද්ගලයෙකු බවයි.
    බාබාගේ දකුණු අත ජීව වනවා සේම බාබාගේ වමත බවට පත් වන්නේ ‘මාර’ යි. බාබා ජීව මෙන්ම මාර ද තම සඟයන් ලෙසින් තබා ගත්තේ ඔහුගේ වාසිය වෙනුවෙනි. ඔවුන් දෙදෙනාම බාබා සමඟ කල් ගෙවූව ද හාත්පස වෙනස් ගුණයන්ගෙන් යුතු චරිතය. මාර යනු සංයමයකින් තොර වූ චරිතයකි. එමෙන්ම අවිනිශ්චිත ය. ක්ෂණික තීරණ ගන්නෙකි.
    නාමිකව ‘ලසා’ බාබාට ද මාරට ද ජීවට ද මෙම කතාව නිර්මාණය කිරීමේදී එක සේ වැදහත් වූ කාන්තා චරිතයයි. ඉහතින් සඳහන් කළ තිදෙනාටම ඔවුන්ගේ ජීවිතයේදී හැරවුම් ලක්ශ්‍යය බවට පත් වන්නේ ලසා නම් චරිතයයි. ලසා නම් චරිතය බාබාටත්, මාරටත් එකී පුද්ගල චරිත වලට ආරම්භයේදී වෙන් වෙන් වශයෙන් බලපෑව ද නැවතත් ජීවගෙන් නිර්මාණය වන ලසා බාබාට, මාරට මෙන්ම ජීවටද එක සේ බලපානු ඇත.
    ඒ අනුව බබා X හි කතා වස්තුව ගොඩනැගෙන්නේ ඉහත සඳහන් කරන ලද ප්‍රධාන චරිත 4 වස්තු බීජය කර ගනිමිනි. නමුත් සැබවින්ම බබා X හි හරය වන්නෙ චරිත 4 ක් නිර්මාණය කරමින් එම චරිත වල ලක්ෂණ හඳුනා ගැනීම පමණක්ද? නැත. දේවත්වය, ජීවිතය, මරණය හා අනිත්‍යභාවය පිළිබඳ පාඨකයාව නැවත නැවතත් සිතන තැනට පත් කිරීම මෙහි අරමුණයි. අප ජීවත්වන්නේ 21 වන සියවසයේ ය. නමුත් තවමත් දේව සංකල්පය ඉදිරියට දමා මිත්‍යාව වපුරුවන මිනිසුන් පිළිබඳ අදටත් අසන්න දකින්න ලැබෙයි.මිනිසුන් ජීවයද රැගෙන මෙලොව එළිය දකින්නේ මරණය ද ගුලි කර ගනිමිනි. මිනිසුන් කොතෙකුත් ජීවිතය ගැට ගසා ගැනීම සඳහා හරඹ කළ ද අවසානයේ මිනිසුන් අනිත්‍ය අවබෝධය කර ගත හැකි තැනට පැමිණිය යුතුය. එම නිසා මේ මොහොත මානසික සෞඛ්‍ය හොඳින් පවත්වා ගනිමින් ජීවත් වීමට නම් විශ්වයට ආදර කිරීමට පටන් ගත යුතුය. බාබා X හි සඳහන් වන පරිදි බාබාට විශ්ව ශක්තිය ගැන අවබෝධයක් තිබුණ ද සෑම විටම ඔහු පෙරමුණේ තබන්නේ මිත්‍යාවයි.
    මෙහි විශ්ව ශක්තිය පිළිබඳව ද යම් යම් ස්ථාන වලදී හුවා දක්වයි. විශ්ව ශක්තිය යනු ඔබ සුබදායක දෙයක් විශ්වයෙන් ඉල්ලා එක රැයින් ඔබට පෙරළා විශ්වයෙන් ලැබීම නොව. මේ වන විට ඔබ සතුව පවතින්නේ මොනවාද ඒවාට වැඩි වැඩියෙන් ස්තුතිවන්ත වීමයි. ඉන් පසුව විශ්වය වුවද ඔබට සවන් යොමු කරනු ඇත. එහෙත් බබා X හි ජීව හා බාබා අතර පර්වතය මුදුනේ වගා කටයුතු ආරම්භ කරන අවස්ථාවේදී සිදු වන කතාබහේදී ජීව වුවද විශ්ව ශක්තිය පිළිබඳ සෑහීමකට පත් නොවන බව පාඨකයාට ගමය වේ.
    අවසාන වශයෙන් ජීවට (ජීවිතය) දැනුම තිබුණද, සත්‍ය වැටහුණද ඔහු බාබා ( දේවත්වය) සමඟ මිත්‍යාව වපුරවමින් ජීවිතය සැපවත් කර ගැනීමට තීරණය කරයි. ලසාගේ ( අනිත්‍යතාව/ වෙනස්වීම) පැමිණීමත් සමඟ ඔහුගේ ජීවිතය වෙනත්ම දිශාවකට ගමන් කරයි. මේ සියල්ලෙහි වෙනස්වීම් සිදු වන අතරතුර මාර ( මරණය) අරමුණ ඊට ඉඳුරාම වෙනස් එකක් විය. එම නිසා මිනිසුන් වශයෙන් මේ හතරෙන් මුලින්ම නැවැත්විය යුත්තේ කුමක්ද යන වග බාබස් X කියවා අවසානයේ පාඨකයා තීරණය කළ හැක.
    -සුනාලි දුලාංජනා-

  11. Admin

    Manasha Thennakoon විසින් ලියූ සටහනක්
    📘බාබා X
    කර්තෲ- මුතුමුදලිගේ නිශ්ශංක
    “මේ විශ්වයේ තියෙනවා සදාතනික වූ සත්‍යයක්. විශ්වය මිනිසාට ආදරය කරනවා. ඒ ආදරය නිසා විශ්වය මිනිසා ඉල්ලන හැම දේම ලබා දෙනවා. එහෙත් මිනිසුන් විශ්වයෙන් ඉල්ලන්නේ නැහැ. මිනිස්සු විශ්වය වෙනුවට දෙවියන්ව පත් කරගෙන විශ්වයෙන් ඉල්ලිය යුතු දේවල් දෙවියන්ගෙන් ඉල්ලනවා. එහෙත් ඔවුන් දන්නේ නැහැ විශ්වය ඒ සියල්ලටම වඩා ප්‍රබල බව.”
    “ඔබ මේ කියවන්නේ, මිථ්‍යාව, ආගම, ස්වභාවධර්මය සහ විශ්වය යන සතර කෝණයන් එකිනෙක ස්පර්ශ කරන්නා වූ ඒ පරම සත්‍යයේ කතාන්දරයයි!”

  12. Admin

    Manjula Wijesinghe විසින් ලියූ සටහනක්
    බාබා X
    කර්තෘ – මුතුමුදලිගේ නිශ්ශංක
    පොත්මී ප්‍රකාශනයකි.
    ලෝකයේ ගමන් මග වෙනස්කරන එක් කරුණක් වන්නේ ආගමික මතවාදයන් මතය. එය ලෝක ඉතිහාසය පුරාම දක්නට ලැබුණකි. ඒ ඒ ආගමික සංකල්පයන් දරන්නවුන් අතර ඇති වූ නොයෙකුත් මත ගැටුම් නිසා ආගමික යුද්ධයන් ඇතිවීමද සිදුවිය. කුරුස යුද්ධය, ප්‍රංශ ආගමික යුද්ධය ආදිය මේ අතරින්ලෝක ප්‍රකට ආගමික යුද්ධ අතරට ගත හැකිය. ඊට අමතරව රට රටවල් අභ්‍යන්තරයේද ආගමික කණ්ඩායම් අතර සුළු සුළු ගැටුම් ඇති වීම බහුලය.
    එසේ වන්නේ ඇයි?. මේ ගැන විමසා බැලීමේදී අපට පැහැදිලි වන කරුණක් ඇත. ආගමික සංකල්පයක් විශ්වාස කිරීමේදී මිනිසා තුළ එය කෙරෙහි අත්‍යන්ත වූ බැඳීමක් ඇති කරනු ලබයි. එය භක්තියක ට ද වඩා ඒ කෙරෙහි වූ බිය මුසු හැඟීමකින් ඇති කරනු ලබන්නකි. ආගමික මතවාදයන් හා සබැඳි දේව ඇදහිලි ගැන සිතා බලන්න. ඒ ඒ දෙවියන් කෙරෙහි අප තුළ ඇත්තේ භක්තිය ක ට ද වඩා බියමුසු හැඟීමක් නොවේ ද?. එම බියමුසු හැඟීම පෙරදැරි කරගත් විශ්වාසය, ඒ ආගම තුළින් කෙරෙනු ලබන ඕනෑම නියෝගයක් ඉටුකිරීමට මිනිසාව නිතැතින්ම පොලඹවනු ලබයි.
    මා මේ ප්‍රවේශය ලබා ගත්තේ මුතුමුදලිගේ නිශ්ශංක මහතාගේ නවතම කෘතිය වන බාබා X වෙනුවෙනි. එය අපූරු මාතෘකාවක් ඔස්සේ ලියැවුනකි. මිනිසුන්ගේ විශ්වාසය පදනම් කරගෙන ගොඩනැගෙන ආගමික සංස්කෘතියක් ගැන කියවෙන මෙම කතාව අද සමාජයට මනා සේ ගැළපෙන්නකි.
    මුතුමුදලිගේ මෙම කතාව ලියා පෙර කියවීම සඳහා මා වෙත යොමු කරන ලදී. ඇත්තෙන්ම එය මා උද්‍යෝගයට පත්කළ ලියවිල්ලක් විය. ඔහුගේ සුපුරුදු ශෛලියේ වේගවත් ගලායෑම මෙහිද දක්නට ලැබිණ. එමෙන්ම මා අදහස් කලේ මෙය නිර්භීත ලියවිල්ලක් බව ය. විශේෂයෙන්ම නොයෙක් දේව ඇදහිලි කරපින්නා ගත් අප සමාජය මෙය කෙසේ පිළිගනී දැයි නොසිතිය හැකි නිසාය.
    කෙසේ වෙතත් මෙම කතාව අද සමාජය වෙනුවෙන් අපුරුවට ගැලපෙන්නකි. කලින් කලට මතුවෙන නොයෙකුත් ඇදහිලි බහුල මේ රටේ ජනතාවගේ ඇස් කන් යම් පමණකට හෝ අවදි කරවන්නට මේ කෘතිය ඉවහල් වේ යැයි සිතන්නෙමි.
    බාබා X…….. කුමක්ද මේ X?. ගණිතයේ දී X යනු නොදන්නා පදයක් වෙනුවෙන් යෙදෙන්නකි. මෙහිදීද X වෙනුවට ඔබ කැමති ආදේශකයක් යොදාගත හැකිය. කතාව කියවාගෙන යාමේදී ඔබේ ආදේශකය එයට යොදවා බලන්න. එම ආදේශකය මෙම කතාව සමග ගැලපී යන හැටි ඔබට අත්විඳිය හැක. සමාජය යථාර්ථය සමඟ මුසුවූ මෙවන් ප්‍රබන්ධ, පාඨකයාගේ සිතුවිලි නිවහල් තැනකට රැගෙන යාමට උදව් කරයි.
    අපි කතාව දෙසට හැරෙමු, මෙහි ප්‍රධාන චරිත බාබා, ජීව, මාර හා ලසාය. බබා මගින් ආගමික සංකේතය නිරූපණය කරයි. ඔහුගේ ආගමික සංක්‍රාන්තියට පෙර ජීවිත කතාව විමසා බැලීමේදී, ඇදහීම මගින් කෙනෙක් මුළාවට පත්වන පත්වන ආකාරය, මුළා කළ හැකි ආකාරය මනාව විවරණය වෙයි. එය අපට අපගේ ඇදහීම් කෙරෙහි විචක්ෂණශීලී බැල්මක් හෙළීමට අවස්ථාව උදාකර දෙයි. ජීව යනු ජීවයයි. මිනිසාගේ සියලු ක්‍රියාකාරකම් ජීවිතය හා රඳා පවතී. එය ජීව තුළින් සංකේතවත් වේ. මාර යනු මාරයාය. මිනිසාගේ සියලු ක්‍රියාකාරකම් මාර තුළින් කෙළවර වෙයි. මෙය තුලින් ඔබට අනිත්‍යය ද දැකගත හැකිය. ලසා නියෝජනය කරන්නේ සමස්ත සමස්ථ ස්ත්‍රී පරපුරයි. ලොව සෑම බලවේගයක් ම ස්ත්‍රීත්වයට යටය. එය ඔබට ලසා තුළින් දැකිය හැකිය. මේ සියල්ල එක්වූ අපූරු නිර්මාණයක් ඔබට බාබා X තුළින් දැකිය හැකිය.
    ඉඳින්, ඔබ ඔබේ ඇතුලාන්තය විවර කරගන්න. ඒ දෙස විමසිල්ලෙන් බලන්න. ඒ තුළට පිවිසියේ කවුරුන්දැයි සොයා බලන්න. ඒත් සමගම ප්‍රවේශම් වන්න. බාබා X පැමිණ ඇත.
    මංජුල විජේසිංහ

  13. Admin

    බාබා X – මුතුමුදලිගේ නිශ්ශංක
    ” මේ විශ්වයේ තියෙනවා සදාතනික වූ සත්‍යයක්.විශ්වය මිනිසාට අාදරය කරනවා.එ් අාදරය නිසා විශ්වය මිනිසා ඉල්ලන හැමදේම ලබා දෙනවා.එහෙත් මිනිසුන් විශ්වයෙන් ඉල්ලන්නේ නැහැ.මිනිස්සු විශ්වය වෙනුවට දෙවියන් පත් කරගෙන විශ්වයෙන් ඉල්ලිය යුතු දේවල් දෙවියන්ගෙන් ඉල්ලනවා.එහෙත් ඔවුන් දන්නේ නැ විශ්වය එ් සියල්ලටම වඩා ප්‍රබල බව..”
    මුදලි අයියාගෙ තවත් පිස්සු වට්ටන පොතක්..මිත්‍යාවෙන් පිරුනු ලෝකයක සත්‍ය අසත්‍ය තෝරාබේරා ගැනීමට අැති අපහසුව මනාව පෙන්නුම් කරනවා..මේ සමාජයේ ජීවත් වෙද්දි මනා සිහිබුද්ධිය කොතරම් අවශ්‍යය ද කියලා පොත කියවගන යද්දි තේරෙනවා..
    මුදලි අයියේ මේ තෑග්ගට ඔබට ගොඩාාක් ස්තූතියි.තව තවත් පොත් වලින් වෙනම ලෝකයකට ගෙනියන්න ධෙෙර්යය ශක්තිය ලැබේවා !❤📖🔖
    – Dinesh Sachi Bandara –

  14. Admin

    අසිකා සුභසිංහ විසින් ලියූ සටහනක්
    මං කියවපු වෙනස්ම තාලයේ කතාවක්…
    මේක කියවන් යනකොට මට හිතුන දෙයක් තමයි ඇත්තටම අපි කොයිතරම් නම් මිත්‍යාවෙන් අන්දවෙලාද කියල…
    “විශ්වාසය පැවතිය යුත්තේ සීමාවකටය.එය අසීමිත වූ විට එයින් මෝඩකම උපදියි.”
    ඒක තමයි ඇත්ත..මෙය කියවා මා තුළ පොඩිම හෝ ඒ ගැන විශ්වාසයක් තිබුණානම් මං එයද අත් හලෙමි..
    හැමෝම කියවන්න ඕනි කතාවක්..ස්තූති ඔබට… මුතුමුදලිගේ නිශ්ශංක ..

  15. Admin

    Shehani Tharushika විසින් ලියූ සටහනක්
    ජීවිතයේ කියවූ පොත් සහ නිර්මාණ අතරින් අපූර්වතම වූ නිර්මාණයකි බාබා X. ඇතැම් ආගම් පිලිබදව සේම ජීවිතය පිලිබදවද ගැඹුරින් නමුත් ඉතා සරලව විග්‍රහ කර
    ඇත්තේය. සියළු සත්වයෝ තම ජීවිත චාරිකාවේ අත්දකින ප්‍රධානම සංසිද්ධීන් 03 ඉතා සරලව චරිත ඇසුරින් විග්‍රහ කර ඇත. එනම්
    01. ජීව – ජීවිතය
    02. මාර – මරණය
    03. ලසා – අනිත්‍ය හෙවත් වෙනස් වීම
    මෙහිදී X යනු නොදන්නා පදයකි. තම මනසට එන ඕනෑම අයෙකු ඊට ආදේශ කරගත හැක.
    ජීව:-
    ශක්තිමත්ය. බුද්ධිමත්ය. නමුත් අනිත්‍ය හමුවේ ස්ථාවරව රැදෙන්නට හෝ එය තේරුම් ගැනීමට නොහැකිවෙයි. අපද බොහෝවිට එසේමය. සියළු දේ අනිත්‍යට යටත් බව වටහා ගන්නා විට අප බොහෝ ප්‍රමාදය.
    මාර:-
    විනාශය හෙවත් මරණය. ශක්තිමත් නමුත් තමන් කරන දේ විචාර බුද්ධියකින් සිතා කටයුතු නොකරයි. ඇතැම් අවස්ථාවල තමන් කරන්නේ වරදක් බව දන්නේවුවද ඉන් අත්මිදීමට උත්සාහ නොකරයි. ඇතැම් අවස්ථාවල අපද අප ජීවිත තුල අන්ධයන් ලෙස ක්‍රියා කරන අවස්ථා බොහෝය. දැන දැනම වරදේ බැදෙන මිනිස් ස්වරූපය පෙන්වයි.
    ලසා:-
    අනිත්‍ය හෙවත් වෙනස් වීම. මෙම චරිතයට ගැහැනියක යොදා ගැනීම තරමක් කුතුහලයට ලක්වන්නකි. මන්දයත් ගැහැනු පිරිමි භේදයකින් තොරව සියල්ලෝම වෙනස් නව බැවිනි. එසේම ඇතැම් විට එම වෙනසම තමන්ගේ විනාශයට හේතු විය හැකි බව පෙන්වා දෙයි.
    මෙහිදී ප්‍රේමය පිලිබදවද මැනවින් විග්‍රහ කරන බව මගේ හැගීමයි. මන්දයත් කෙතරම් ගැඹුරු සත්‍ය ප්‍රේමයක් වුවද කාලයත් සමග වෙනසකට ලක්විය හැකිය. රාගයෙන් තොර ප්‍රේමය පාරිශුද්ධ බව පැවසුවද ඇතැම් අවස්ථාවලදී එහි යම් පමණකට හෝ රාගය තිබිය යුතු බව මින් පෙන්වා දෙන බව මා විශ්වාස කරමි. නමුත් රාගයම පමණක් පදනම් කරගෙන ඇතිවන සම්බන්ධතාවන් නිසා තමා මෙන්ම අනිකාවද විනාශයට ගෙනයන බව මෙහි අපූර්වට විග්‍රහ කර ඇත. එසේම තම තේරුම් ගැනීමෙන් ඔබ්බට ඇති දේ ඉක්මණින් විශ්වාස කිරීම මිනිස් ස්වභාවය බවත් ඊට දේවත්වයෙන් පිදීමට පවා ඔවුන් පසුබට නොවන බව මින් අපූර්ව ලෙස පෙන්වා දෙයි.
    අවසෙන වශයෙන් ගත්කල විශ්වීය දහම අප සියල්ලන්ටම පොදු බවත් තමන් සතු දෙයින් සෑහීමකට පත්ව තෘප්තිමත් නොවුනහොත් එයම අපට විනාශය ගෙන දෙන බව මෙමගින් පෙන්වා දෙන බව මගේ හැගීමයි.

  16. Admin

    Umanda Thathsarani විසින් ලියූ සටහනක්
    මනුෂ්‍යයෙකුට ලොකුම අභියෝගය වෙන්නේ ‘ ඔහුට ඔහුම අවංකව සිටීමයි. ‘
    බාබා_X – මුතුමුදලිගේ නිශ්ශංක
    ‘ මිත්‍යාව ආගමක් වූ කල…’
    පෙරවදන
    ———–
    පුද්ගල ජීවිතයක් ප්‍රධාන ලෙසම කොටස් දෙකකට වෙන් කරන්න පුලුවන්.
    1. ලෞකික ජීවිතය
    2. ආධ්‍යාත්මික ජීවිතය
    පුද්ගල භෞතිකත්වය වගේම තමන්ගෙන් සමාජයට වෙන්න ඕන යුතුකම් එක්ක බැඳිල තියෙන #ලෞකික ජීවිතය විදියටත්, හැකිහැම විටම මානව සංතුෂ්ටිය මත රැඳෙන තත්වය €ආධ්‍යාත්මික ජීවිතයත් ලෙස නම් කරන්න පුලුවන්..
    භෞතිකත්වය හා ආධ්‍යාත්මය යහපත් තැනට ගෙන ඒම #ආගම විසින සිදුකරන ලද්දක්..
    සමාජයක් තුළ විවිධාකාරී වූ ඇදහීම්, වන්දනාමාන කටයුතු සිදු කරන බොහෝ දෙනෙක් සිටින අතර ඒ කිසිදි ඇදහිල්ලකට එරෙහි වීමට අපට හැකියාවක් නැත. මන්ද අදහන ආගම හෝ දර්ශනය හෝ වේවා තමන්ගේ සිත තුළ පවතින ශ්‍රද්ධාව හේතුකොටගෙනම බැඳී පවතින්නක් හෙයිනි..
    නමුදු උප්පත්තියෙන්ම බෞද්ධයෙකු වූ මම, ‘ සිය බුද්ධි මහිමය, විශ්ව සම්භවය පිළිබඳ ප්‍රශ්න පටලවා ගෙන වටිනා කාලය අපතේ නොයවාම චතුරාර්‍ය සත්‍යය අවබෝධ කරගෙන ආර්‍ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්න’ යැයි දෙසූ බුද්ධ දේශනාව අනුගමනය කරන්නෙක්මි.. එය එසේ වුවද කොයිම මොහොතක, කිසිම ලෙසකින් තවත් කෙනෙකුගේ ඇදහිල්ලට විරෝධයක් පෑමට යුහුසුළුද නොවන්නෙමි… එය ඒ ඒ අය තම පමණින් සිදුකරන ලද්දක්ම වන හෙයිනි…
    කතාව
    ——–
    #ආගම යන්නට විශ්වීය නිර්චනයක් ලැබී නැත.
    නමුත් තමා විසින්ම අවබෝධ කරගත් යථාර්තයක් සහිත දේ ලෙස භාවිතයේ පහසුව තකා අවබෝධ කරගත හැක.
    වත්මනෙහි ආගම තුළ වැඩි වැඩියෙන් දෙවියන් හා දෙවිවරුන් නමස්කාර කිරීමේ තදබල විශ්වාසයක් හා අල්ලා ගැනීමක්ද ඒ හා සමාන ඥාතීත්වයක්ද මිනිසා තුළින් දැකගත හැකිය.
    අන්න ඒ කරුණ මූලික කොටගෙනම කතාව ගලායාම වෙනස්ම මගකට යොමු කරවන්නකි.
    #බාබා
    ——–
    තමන් අතින් සිදුවූ මිනිස් ඝාතනය හේතු කරගෙනම ඊට ලැබිය හැකි දඬුවම් පිළිබඳව #බයක් ඇති කරගන්නාවූ ප්‍රධාන චරිතය ඉන් මිදීමට වෙනත් මාර්ගයකට යොමුවෙන අයුරින් කතාව ආරම්භ වීමත් ලද අවස්තාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් මනුෂ්‍ය වර්ගයාගේ සංවේදිම ස්ථානයට කතා කිරීම සඳහා #ලැජ්ජාව පසෙක හෙලමින් නිර්වස්ත්‍රව තමන් ආගමික නියෝජිතයෙකුයැ’යි හඟවා අදාල පෙදෙසෙ දැඩි ආගම් භක්තියන් හමුවේ ආශිර්වාද කිරීමට පෙලඹීම මගින් වත්මනෙහි බොහෝ පුද්ගයන් මනැසට නඟා ලීම ඉතා පහසුවෙන් සිදු කරන ලද්දකි..
    ව‍ර්තමාන සමාජයේද නිසි ලෙස ආගම් පතුරුවාලීම තුළින් තම පිරිසට නිවැරදි දේ දෙනවාට වඩා ඉතා ලෙහෙසියෙන්ම #චතුර_කතාව
    #සිත්_අලවන_වචන_භාවිතය
    බලෙන් ලඟාකරගත් #හික්මීම
    #සියල්ල_දත්_කෙනෙකු බව පෙන්වීම මගින් කෙනෙකුට ඉතා පහසුවෙන් ලගාවිය හැකි බවද කතුවරයා විසින් මනාව පෙන්වා ඇත.
    #බාබා ඉතා පහසුවෙන් #දේවත්වයට #පිදුම් ලැබුවෙ කෙසේද?
    ——————————————————————–
    මිනිසුන් ඇස් පනා පිට සිදුවෙන දේවලට වඩා නොදුටු දේවල් වලට ඉතා ආශක්තය. ඇබ්බැහි වෙන සුලුය. ඉතින් එකී කරුණම මූලික කොටගෙන දරුඵල අහිමි යැයි පවසන කතුන් මූලික කරගෙන තම ඉලක්කය සපුරමින් ඔවුන් ගැබ්බර කිරීම මඟිනි.
    දරුවන් අහිමි කතුන් පූජා වට්ටි තබමින් දරුවන් ලබා දෙන ලෙස කන්නලව් කරනායුරු ඔබටත් මැවෙනු නොඅනුමානය.
    තවද කතුන් මූලීක කරගෙනම කපුවන් ලෙස සැලකෙන පුද්ගලයන් නැටූ නෛයාඩම් මතක් වනු නිසැකය…
    වෙනත් රටක බොහෝ ලෙස සිදුවෙන එක්තරා කිරිකල වලින් නෑවිමක්ද මතකේ නැගෙනු ඇත.
    දඬුවමින් බේරෙමින් තම බඩ ගෝස්තරයද රැකගැනීමට නොදන්නා දෙවියෙක් මවා පා තම අරමුණුද ඉටු කරගැනීමට මිත්‍යාවෙන් බහුල ගම්වැසියෝ බාබාට දුන් උපකාරය අති මහත්‍ ය.
    #ජීව
    ——
    මනුෂ්‍ය ජීවිතයක් ලැබීම කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බැලීමක් ලෙස කියැවේ..
    ඒ ලෙස ලැබුණු මනුෂ්‍ය ආත්මය මව, පියා සහෝදර සහෝදරින් ලෙස බැඳේ…
    මව්ට පියාට ඇති ආදරය ඉමහත් ය. එය නොරහසකි.
    ඒ ආදරය හේතු කරගෙනම බාබට හමුවෙන තරුණයා ඉතා විචක්ෂණශීලී හා බුද්ධිමත්භාවයකින් පිරිපුන් අයෙකි.
    බාබාගේ ජීවිතය මෙන්ම ඔහුගේ ජීවිතයද සුබ කරන්නේද ඔහුය.
    තමාගේ බුද්ධි මට්ටමට ගැලපෙන අයෙකු නැති නම් තනිව විසීම යහපත්‍ ය’ යන්න ජීව හා බාබාගේ ඇසුරෙන් මනාව ගම්‍යමාන වේ.
    එකතැන පල්වෙමින්, දරුවන් ලබාදෙමින් එකාකාරීව ගෙවීයන බාබාගේ නීරස දිවිය තව තවත් සුඛිත මුදිත කරවාලමින් හා පටන් ගත් නොදන්නා දෙවියෙකු තව විශාල පෙදෙසකත් ව්‍යාප්ත කරවාලමින් හා ඊට ඉතා පහසුවෙන් පුද්ගලයන් බඳවා ගැනීමටත්, මහා සරු ලෙස පුද පූජා පැවැත්වීමටත්, කලින් දෙවොල මෙන්ම තව තවට්ග් දෙවොල් සදමින් මහා ප්‍රසිද්ධියක් ලැබීමටත්, ඒ කරුණු එකිනෙකට ගැටීමට අවස්ථාවක් නොදෙමින් මනා ලෙස පාලනයක් ගෙන ගිය ජීව සැබවින්ම නව ජීවිතයක්ම විය.
    නමුදු සර්ව සම්පූර්ණ කිසිවෙකු මිහිමත නොමැති බවද පෙන්වා දෙයි.
    #මාර
    ——
    උපදින සෑම කෙනෙකුම කවදා හෝ මියයයි. එය එදත්, අදත්, හෙටත් එලෙසමය. කිසිවෙකුට මරණයෙන් ගැලවී යා නොහැක.”
    ගැහැණියකගේ මරණය නිසාම බාබාට හමුවෙන මාර, බාබගේ යහපත හෝ අයහපත පිණිසම හමුවූවාක් මෙනි. දැඩිලෙස ව්‍යාප්ත වන තම දහම නිසාම ප්‍රසිද්ධියක් උසුලන තම දෙවොලේ ආරක්ෂක තැනට මාර යොමු වන්නේ එයිනි. ඒද මනා ශක්තිමත්භාවයත් රූපයත් නිසාය.
    තම ස්වාමියාට දැඩි ලෙස පක්ෂපාතී වන මොහු ස්වාමියා පවසන දේට එකඟ වන්නේ නිතැතිනි. තවත් මිනීමැරුවක් කරන්නේද එනිසාය. බාබාව දේවත්‍වයට පත්කල ජීවගේද ජීවිතයද මාරට භාර කරන්නේද එලෙසින්‍ ය.
    මරණය ඉතා ඉක්මණ්‍ ය. නමුදු වරදක්‍ ද නොවේය. විටෙක සුවය. විටෙක ප්‍රචණ්ඩය. මරණය කෙලවර නැවත උපතකි. එය හොඳ හෝ නරක විය හැක. නමුත් මරණය සදාකාලිකය. මිදුණු නොහේ.
    මනා ලෙස මාරගේ චරිතය ඔප් නංවා ඇත.
    #ලසා
    ——
    බාබා ගමෙන් පැන ආවේ බිරිඳගේ මරණය නිසාය.
    ජීවට බාබා හමුවූයේ මවගේ මරණය නිසාය.
    මාරට බාබා හමුවූයේ බිරිඳගේ මරණය නිසාය.
    බාබාට ජීව කෙරෙහි අපැහැදීමක් ඇතිවූයේ ලසා නිසාය.
    ජීවට ආදරයක් ඇති වූයේ ලසා නිසාය.
    මාරට තම ආසවන් සපුරා ගත හැකිවූයේ ලසා නිසාය.
    ගැහැණියට පිරිමියෙකු පුදුම කළ හැක. දුක් කන්දරාවක බර දරා සිටිය හැක. විශ්වාස කරන දේ සමඟ සටන් කළ හැක. කොන්දේසි විරහිතව ආදරය කළ හැක. මෘදු ය. සියුමැලිය.
    එමෙන්ම,
    ලෝක පැවැත්ම මෙන්ම ලෝක විනාශය රදා පවතින්නේද
    යකෙකු වැනි මිනිසෙකු අවනත කිරීමටත්, අවනත මිනිසෙකු යකෙකු කිරීමටත්
    ආදරයේදී හා පළි ගැනීමේදි පිරිමියෙකු හා ප්‍රචන්ඩවත්
    ශෘංගාරයේ සංකේතය වන්නේද ගැහැණියම වන බව ඉතා සියුම් ලෙස කතාව තුළ පෙනවා ඇත.
    නමුදු.,
    රෝස මලෙහි සුන්දරත්වය දකින තැනැත්තා එහි කටුද දැකිය යුතු බව මට හැගේ.
    අවසානය
    ———–
    සැබෑ ධර්මතාවය සොබාදහමත් විශ්ව විසින් රකින බවත්, වැලළී ගිය, වැලළී යන සැම දේ කාලයත් සමඟ කෙන කෙනා සොයා ගන්නා බවත් නොරහසකි.
    පව් කිරීමට ලැජ්ජා වීමත්,ඊට ලැබෙන දඬුවම් පිලිබඳ ඇතිවන බයත් පුද්ගල සන්තාන ගත වන්නේ නම් මිත්‍යා විශ්වාස අදහමින් , ත්වකෙකුගේ මනසේ එකී මීත්‍යාව රෝපණය නොකරන්නේ නම් ආගමේ නාමයෙන් විමසා බැලීමකින් තොරව අනන්‍ය නොවී සත්‍ය දහමක් හෝ දර්ශනයක් හේතු කරගෙන පුද්ගලයා තව දිවි සරු කර ගනු ඇත.
    රාගයෙන් චංචල නොවූ, ද්වේෂ සහගත සිතුවිලි නොවූ කෙලෙස් ප්‍රහීන කළ පුද්ගලයා ආගමික නායකයෙකු වන අතර පුද්ගලයා මුහුණ දෙන දුක හා එයට මුහුණ දෙන පුද්ගකයාගේ ඊට ඇති බැඳීමත්, ඉන් මිදීමට ඇති හැකියාවත්, ඒ සඳහා අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග පෙන්වා දෙන්නාවූ ආගම් ලොව සදා පවතිනු ඇත.
    බොහො ලෙස ව්‍යාප්ත වන මිත්‍යා විශ්වාස පදනම් කරගත් කිසිදු හරයක් නැති ආගම් ඇදහීමට පුද්ගලයන් කෙසේ පෙලඹෙන්නේදැයි මෙම ග්‍රන්ථයෙන් මනාව ලඝුකොට ඇත. තමන්ට අවබෝධ කරගත හැකි ලෙස, තර්ක විතර්ක කරමින් සත්‍යයම ඇදහිය යුතු බවට මින් මොනවට කියා පායි. පටන් ගැන්මේ සිට අවසානය තෙක් මිත්‍යා අදහන්නන්, තමන් උසස් යැයි කියා ගන්නා පුද්ගලයන්, අන්ධ විශ්වාස නිසාමුහුණ දීමට සිදුවූ ගැටලූ එකින් එක දිස්වීම අරුමයක් නොවේ. කතුතුමාගේ මුඛ්‍ය අරමුණ ඉතා සාර්ථක බැව් කීම මහත් සතුටකි.
    අදහන ආගම කෙරෙහි දැඩි භක්තියක් තිබීම යහපත්‍ ය. නමුත් අන්ධ විශ්වාස මත තම ආගමද පසෙකලා කටයුතු කිරීම අයපහත්‍ ය. මන්ද ආගමකින් කෙරෙනුයේ සිතූ පැතූ සම්පත් ලබාදීම නොවේ. මනැසට, මසැසට සහනදායි සිතුවිල්ලක් ලබාදීම පමණක්මය. පූජා වට්ටියක් දී සියල්ල ඉල්ලනවාට වඩා තම සිත එකඟ කරගෙන අරමුණු වලට වලට යාමට හැකිවේවායි පැතීම ප්‍රමාණවත් වේ.
    සමාජයේ කතා බහට ලක්විය යුතු ප්‍රධාන කතිකාවත් තම අකුරෙන් නිමවා පාඨකයා අතුරට යවමින් මෙම පොතේද ප්‍රධාන අරමුණ ඉතා නිර්මාණශීලිව නිමැවීම විශිෂ්ටය.
    මේ බුද්ධියෙන් විමසා බැලිය යුතුම කාලයයි.
    #නොසිතු_මොහොතක_සතුට_පුපුරවා_හරින්නේ_මරණයයි.
    ඉඳින් ඔබට ජය ❤️
    – උමා –

Add a review