“කැප්ටන් අපිට අතක් හම්බුණා අර බස් එකෙන්” සාජන්ට්වරයා යළිත් කීවේ ය. එවර ද සාජන්වරයා කියන්නට තටමන්නේ කුමක් දැයි යෙරාජ්ට නොවැටුණෙන් ඔහු තම සගයා ඉදිරියේ සෘජුව ම හිටගත්තේ ය. යෙරාජ් මඳක් කොට කෙට්ටු සිරුරකින් යුක්ත අයකු වුවත් ඔහුගේ මුහුණේ ඇත්තේ දැඩි බැල්මකි.
“මොන අතක් ද, තමුන් මොනවද කියන්නේ, හරියට කියනවා… ඇයි මොකක්ද වුණේ?”
“හරි කැප්ටන් හරි..” ආධුනික සාජන්වරයා සංසුන් වීමට යත්න දැරීය.
“මම මෙතැන රාජකාරී කරමින් හිටියේ.. එතකොට මට ඇහුණා අර බස් එකෙන්” කී ඔහු අත යළිත් බස් නැවතුමේ නවත්වා ඇති සුදු පැහැ බස්රථයකට දිගු කළේ ය. “ඔව්… ඒ බස් එකේ තමයි… මට ඇහුණා ඒ බස් එක පැත්තෙන් කෑ ගැසිල්ලක්… ඉතින් මම ඒ පැත්තට දුවන් ගියා. මම එතැනට යද්දිත් බස් එකේ ඩ්රයිවර් සූට්කේස් එක ඇරලා. ඒ මිනිහා මෝඩකමට ඒකේ තිබුණ අයිස් බෑග් එකත් ඇරලා බලලා”
“අයිස් බෑග් එකක්”
“ඔව් කැප්ටන්… ඒ අයිස් බෑග් එකේ තමයි අත තියෙන්නේ”
“මොන අත ද?”
“කැප්ටන් ඒක කපලා වෙන් කරපු අතක්… වැළමිට ළඟින් ම කපලා අයින් කරලා. ඒක මොන හේතුවකට හරි අර අයිස් අස්සේ හංගලා ඒ සූයිට්කේස් එකට දාලා”
තම සගයා පවසත් ම යෙරාජ්ගේ හැකිලී තිබුණු දෑස් විශාල වී ගියේ ය.
“එනවා යන්න” කී ඔහු වේගයෙන් එම බස්රථය දෙසට පා නැගීය.
ඒ යන ගමන් ඔහු ඈත පිහිටි බස්රථය දෙස දෑසත් කුඩා කොට කිහිප වරක් ම බැලුවේ ය. එම බස්රථයේ ඇතුළත විදුලි ලාම්පූ තවමත් දල්වා ඇත. එය වටා මිනිසුන් කිහිප දෙනකු හිටගෙන සිටිති.
“තමුසෙට හොඳට ම විශ්වාස ද ඒක අතක් කියලා?” ඔහු තම නිලධාරියාගෙන් ඇසුවේ ය.
“ඔව් කැප්ටන්, කපලා වෙන් කරපු එකක්”
සිනමාමය ලේඛක මුතුමුදලිගේ නිශ්ශංකගේ නවතම කෘතිය දැන් මිලදී ගත හැකියි.
Reviews
There are no reviews yet.