මගෙන් ඔබට අලුත් අවුරුදු තෑග්ගක්.
පිටු 228ක පොතක් මේ වගේ කාලයකදී රුපියල් 686කට කොහෙත්ම ගන්න බැරි වෙයි. කලිනුත් කිව්වා වගේම “කිසිම අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් මේ පොත අතට අරගෙන මිලදී ගන්න සල්ලි නැහැ කියලා ආයේ පැත්තකින් තියන්න ඕන නැහැ. මට ඕන හැම දරුවෙක්ම මේක කියවන්න… ඒ නිසා මට දෙන්න පුලුවන් උපරිම අඩු මිලට මම මේ පොත ලබා දෙනවා.”
මගෙන් ඔබට, ඔබේ දරුවන්ට, අලුත් අවුරුද්ද වෙනුවෙන්.
එන්න ඔහු ඇවිද ආ වීදීයෙම ඇවිද යන්න –
මේ “හඳට ගල් ගැසූ කොල්ලෙක්”
මගේ 13න් වෙනි කෘතිය
ආදරයෙන් – ඔබ වෙත.

තාත්තා මිදුල දෙස බැලුවේ ය. එදින ආකාසය පුන්සඳින් පිරී තිබුණු දවසකි. අපේ නිවසේ සිට බැලූ විට මහ පාරට එහා පසින් පොල් ගසකට මැදිව සඳ රවුමට පායා ඇත. තාත්තා සෙරප්පුව බිමට දමා හිඳ සිටි තැනින් නැගිට්ටේ ය. මගේ කමිසයේ කොළරයෙන් අල්වාගත් ඔහු මාවත් ඇදගෙන නිවසින් එලියට ගොස් පේමන්ටුවේ තිබුණු ගල් කැටයක් මගේ අතට දුන්නේ ය.
“ඉඳා, ඕකෙන් ගහපන් අර හඳට”
මම බිය වූවෙමි. තාත්තා නරුමයෙකි. කිසිම හිතක් පපුවක් නැති කෙනෙකි.
එක් දවසක්ද මේ ආකාරයෙන් ම මාව පේමන්ටුවට ඇද ගෙන ආ ඔහු යකෙක් මෙන් කෝපාවිෂ්ට ව මාව මහ පාරට තල්ලු කර දැමුවේ ය. පාරේ ගිය බස් රථයකට යට නොවී එදා මා බේරුණේ අනූ නවයෙනි. එය මතක් වීම නිසා මගේ පාදයන් වෙවුලුවේ ය. ගලක බැඳ වතුරට දැමුවාක් මෙන් මුළු ශරීරය ම මහා බරකින් මිරිකී යන්නට විය.
“ඉතින් ගහපන්” ඔහු ගුගුලයි.
“ගහපන් පරයෝ, ගහපන්, ඇයි තොට බැරි ද?”
මම තුෂ්ණිම්භූත ව හිටගෙන සිටියෙමි.
“ගහපන් මූසලයා, මිනිස්සුත් බලගෙන ඉන්නවා. උඹට ඉස්කෝලෙ කියලා නොදෙන පාඩමක් තමයි මම අද කියල දෙන්න යන්නේ, ඒ නිසා ගහපන්” ඔහු ටොකු අනියි. මම හිස අල්වා ගත්තෙන් අතේ තිබුණු ගල බිම වැටී ගියේ ය. එය දුටු තාත්තා මාරයා ආවේශ වූවාක් මෙන් බිම වැටුණු ගල යළිත් අහුලා එයින් ම මගේ හිසට ගැසුවේ ය.
මගේ ඇස් දෙකෙන් කඳුළු පැන්නේ එම පහරෙන් ආ වේදනාවෙනි. වයස අවුරුදු දහ හතරක කොල්ලෙකු වන මා කිසිම දිනෙක වත්තෙ අයට පේන්නට හඬා නැත. පේමන්ටුවට එහා පසින් ඇත්තේ පොදු පයිප්පය යි. එතැන ගැහැනුන් කිහිප දෙනෙකු නාමින් සිටියි. පෙමන්ටුව දිගේ යන ගරාජයේ කොල්ලන් ද තැන් තැන් හි නැවතී බලාගෙන සිටින්නේ තාත්තා මට පහර දෙන තුරු විය යුතු ය. මම ලැජ්ජාවෙන් මිරිකෙන්නටත්, වේදනාවෙන් දැවී යන්නටත් වීමි. තාත්තා ඔවුන් ඉදිරියේ ම මට තලා පෙලා නිග්රහ කරාවී යැයි භීතියෙන් මම පිරී ගියෙමි.
මම පිටුපස හැරී මගේ අම්මා දෙස බැලුවේ ඇයවත් මාව බේරාගනිත්වායි ආයාචනයෙනි. එය දැකීමෙන් දෝ අම්මා මගෙත් තාත්තාගෙත් ඉදිරියට පැන හිටගත්තා ය.
“ඔයා යන්න පුතේ…මේ මිනිහට මොනවා වෙලා ද මේ දරුවව ම කන්න හදන්නේ”
ඇය තාත්තාට එරෙහිව, මා වෙනුවෙන් ගෝරණාඩු කොට මාවත් පැත්තකින් තුරුලු කරගෙන නිවස තුළට යන්නට විය.
“දරුවා, මූ දරුවා නෙමෙයි මූ කාලකණ්ණියා, යකෝ තේරුම් ගනින් හඳට ගල් ගහන්න බැහැ. මුලින් ම උඹ කතා කරන්න ඉගෙන ගනින්. කට ඇරලා කතා කරපන් මිනිස්සු හිනස්සන් නැතිව” තාත්තා පේමන්ටුවේ සිට කෑ ගැසුවේ මුළු වත්ත ම දෙදරා යන්නට ය.
– හඳට ගල් ගැසූ කොල්ලෙක්
පොත්මී ප්රකාශනයක්
Reviews
There are no reviews yet.